උසස් කාර්යසාධන සංචිත‍යේ දීමනාව නවතියි.

උසස් කාර්යසාධන සංචිත දැඩි අසීරුවක

National Athletics

151

ශ්‍රී ලංකා උසස් කාර්යසාධන සංචිතගත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මාස කිහිපයකට අදාල දීමනා මෙතෙක් ලැබී නොතිබීම හේතුවෙන් අදාළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැඩි අසීරුතාවයකට පත්ව තිබේ. එසේම පිහිණුම්, බර ඉසිලීම්, පැරා ක්‍රීඩා, මළල ක්‍රීඩා, ජූඩෝ, ජිම්නාස්ටික් සහ බැඩ්මින්ටන් යන ක්‍රීඩාවන්ගෙන් එළැඹෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඇතුළු ඉදිරියේ පැවැත්වීමට ඇති ජාත්‍යන්තර තරගාවලි රැසක් සදහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට නියමිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙලෙස දීමනා ප්‍රමාදය හමුවේ දැඩි අපහසුතාවකට පත්ව තිබීම කනගාටු දායක කරුණකි. 

මෙලෙස උසස් කාර්යසාධන සංචිතයන්ට ඇතුලත්ව ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් 50කට ආසන්න සංඛ්‍යාවක්  තම උසස් කාර්යසාධන දීමනාව සහ පෝෂන දීමනාව නොලැබීම නිසා දැඩි ලෙස අපහසුතාවට පත්ව තිබේ. පසුගිය 2023 වසරේ නොවැම්බර් මාසයේ සිට උසස් කාර්යසාධන සංචිතයන්ට අදාළ දීමනා ගෙවීම සිදු නොවූ ද ජාතික සංචිතයන් සඳහා වන දීමනා පසුගියදා ලබා  දී ඇති බව ද වාර්තා වේ. 

එසේම ක්‍රීඩා ආරංචිමාර්ග සඳහන් කරන්නේ උසස් කාර්යසාධන සංචිත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මාසික දීමනාව සහ පෝෂණ දීමනාවට අදාළ චෙක්පත් මීට සති 4කට පෙර සූදානම් කිරීමට වගකිවයුත්තන් කටයුතු කර තිබුණ ද ඒවා උසස් කාර්යසාධන සංචිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත බෙදා දීමට මෙතෙක් කටයුතු සම්පාදනය කර නොමැති බවයි. කෙසේ වෙතත් පසුගිය ජාත්‍යන්තර ක්‍රීඩා තරගාවලි වල දී පදක්කම් දිනා ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හිමි ත්‍යාග මුදල් බෙදා දීමේ උත්සවයට සමගාමීව, උසස් කාර්ය සාධන සංචිතයන්හි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ හිඟ මාසික දීමනාව සහ පෝෂණ දීමනාවට අදාළ චෙක්පත් බෙදා දීම ද සිදු කිරීමට ක්‍රීඩා බලධාරීන්ගේ සැළසුමක් පැවැතීම හේතුවෙන් මෙලෙස ඒවා ලබා දීම මෙතෙක් ප්‍රමාද කර ඇති බවද පැවැසේ. 

කෙසේ වෙතත් පසුගිය දෙසැම්බර් මාසයේදී ජාතික ක්‍රීඩා සභාව විසුරුවාහැර තිබීම නිසා එම කාල සීමාවට අදාළ උසස් කාර්ය සාධන සංචිත දීමනා ලබා නොදෙන පසුබිමක් නිර්මාණය වී තිබීම ද විශේෂත්වයකි. ඊට හේතුව වශයෙන් සඳහන් කර තිබුණේ අදාළ කාල සීමාව තුළ ජාතික ක්‍රීඩා සභාව විසුරුවාහැර තිබීම නිසා ඊට අදාළ දීමනාව අනුමත කිරීමට නොහැකි වීම බව ද සඳහන්ය.