පළමු තරගයේ ජය සිංහයින්ට.

පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 328ක දැවැන්ත ජයක්

International Cricket

106

ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය වෙනුවෙන් පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 328ක දැවැන්ත ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් විය. ඒ අනුව තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලිය තරග 1-0ක් ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායම පෙරමුණ ගැනීමට සමත්විය. එසේම ශ්‍රී ලංකාව දෙවැනියට වැඩිම ලකුණු පරතරයකින් ටෙස්ට් තරගයක් ජයගත් අවස්ථාව ලෙස ද මෙය වාර්තා අතරට එක්වේ.

කෙසේ වෙතත් අද සිවු වැනි දිනය සඳහා තරගය ආරම්භ කරන අවස්ථාව වන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් ලකුණු 47කට කඩුලු 5ක් දැවී අසීරු තත්ත්වයක පසු විය. ඒ අනුව අද දිනය ආරම්භ වී වැඩි වේලාවක් ගත වීමට මත්තෙන් ටයිජුල් ඉස්ලාම්, ලකුණු 6කට දවා ගැනීමට කසුන් රාජිතට හැකි විය. නැවතත් ක්‍රියාත්මක වූ රාජිත ලකුණු 33ක් රැස්කරගෙන සිටි මෙහෙදි හසන් මිිරාස් 7 වැනි කඩුල්ල ලෙස දවා ගත් අතර ශොරිෆුල් ඉස්ලාම් ද ලකුණු 12කට 8 වැනි කඩුල්ල ලෙස ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට රාජිතට හැකි විය. කලීඩ් අහමඩ් මුහුණදුන් පළමු පන්දුවෙන්ම රාජිත හමුවේ කඩුලු රකින කුසල් අතට උඩපන්දුවක් ලබා දෙමින් දැවී ගියේ රාජිත මෙම ඉනිමේ දවා ගත් 5 වැනි කඩුල්ල බවට පත් වෙමිනි. නහිඩ් රාණා ලකුණු නොලබා දැවී ගියේය. 

එසේ වුවත් හුදෙකලා සටනක නිරත වූ මොමිනුල් හක් නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 87කි. ඒ අනුව බංග්ලාදේශයට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් සියලුදෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 182ක් පමණි. 

ශ්‍රී ලංකාව වෙනුවෙන් දෙවැනි ඉනිමේ පන්දු යැවීමේදී කසුන් රාජිත කඩුලු 5ක් දවා ගත් අතර විශ්ව ප්‍රනාන්දු කඩුලු 3ක් සහ ළහිරු කුමාර කඩුලු 2ක් බිඳහෙලීය. 

මෙහිදී ශ්‍රී ලංකාවෙන් හිමිවූ ලකුණු 510ක දැවැන්ත ඉලක්කය හඹා යෑමට පිටියට පිවිසි බංග්ලාදේශයේ ලකුණු පුවරුව ක්‍රියාත්මක වීමටත් පෙර මහමුදුල් හසන් ජෝයි කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකර ගැනීමට විශ්ව ප්‍රනාන්දුට හැකි වූ අතර නායක නජ්මුල් හුසේන් ෂැන්ටෝ ලකුණු 6කට දවා ගැනීමට රාජිතට හැකි විය. ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ ළහිරු කුමාර, ලකුණු 19ක් ලබා සිටි සකීර් හසන් දවා ගත් අතර සැඳෑ ආරක්ෂකයා ලෙස පැමිණි ශදාත් හුසේන් ලකුණු නොලබා දවා ගැනීමට යළිත් ක්‍රියාත්මක වූ විශ්වට හැකි විය. මුහුණදුන් පළමු පන්දුවෙන්ම ඉදිරියට පැන පහරක් එල්ල කිරීමට උත්සාහ කළ ලිතන් දාස් බංග්ලාදේශයේ 5 වැනි කඩුල්ල බවට පත් විය. 

සිලෙට් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමුව ලකුණු රැස්කළ ශ්‍රී ලංකාව පන්දුවාර 68කදී සියලුදෙනා දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 280කි. එහිදී දක්ෂ පිතිකරණයක නිරත වූ ධනංජය ද සිල්වා සහ කමිදු මෙන්ඩිස්, 6 වැනි කඩුල්ල සඳහා ලකුණු 202ක් එක් කිරීම කැපී පෙනිණි. එහිදී ධනංජය සහ කමිදු යන දෙදෙනාම ලකුණු 102ක් බැගින් රැස්කරගත්තේ ශ්‍රී ලංකාව ගෞරවනීය ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යමිනි. 

ඉන් අනතුරුව පිළිතුරු පළමු ඉනිම දියත් කළ බංග්ලාදේශයට පන්දුවාර 51.3කදී සියලුදෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 188ක් පමණි. බංග්ලාදේශ පළමු ඉනිමේ ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී විශ්ව ප්‍රනාන්දු කඩුලු 4ක් දවා ගත් අතර කසුන් රාජිත සහ ලහිරු කුමාර අතරේ කඩුලු 3 බැගින් බෙදී ගියේය. 

ඒ අනුව බංග්ලාදේශ පළමු ඉනිමට වඩා  ලකුණු 92ක් ඉදිරියෙන් සිටිමින් දෙවැනි ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා මුල්පෙල පිතිකරුවන් නැවත වරක් අසාර්ථක විය. ඒ අනුව ලකුණු 113ක් තුළ ශ්‍රී ලංකා මුල්පෙල පිතිකරුවන් 5 දෙනාම නැවත ක්‍රීඩාගාරයේ අසුන් ගෙන සිටියේය. දෙවැනි ඉනිමේදී ද නැවත වරක් නායක ධනංජයට එක් වූ කමිදු මෙන්ඩිස් 6 වැනි කඩුල්ලට ලකුණු 173ක දැවැන්ත සම්බන්ධතාවයක් ගොඩනැගූයේ පළපුරුදු මුල්පෙල පිතිකරුවන්ට මනා ආදර්ෂයක් සපයමින් වීම ද කැපී පෙනිණි. 

මෙහිදී ටෙස්ට් ඉතිහාසයේ අංක 7 හෝ ඊට පහළ පිතිකරුවෙකු ලෙස පිටියට පිවිස එකම තරගයේ ඉනිම දෙකකදී ශතක දෙකක් රැස්කළ පළමු පිතිකරු ලෙස කමිදු, වාර්තා අතරට එක්වීම කැපී පෙනිණි. එසේම ටෙස්ට් තරගයක ඉනිම දෙකක දී ශතක දෙකක් රැස්කළ පළමු ශ්‍රී ලංකා ටෙස්ට් නායකයා ලෙස ධනංජය ද සිල්වා මෙහිදී වාර්තා අතරට එක් විය. 

මෙම තරගයේදී දැක්වූ  දස්කම් හේතුවෙන් නායක ධනංජය ද සිල්වා තරගයේ වීරයා ලෙසින් සම්මාන දිනා ගත්තේය. 

ලකුණු සාරාංශය 

ශ්‍රී ලංකා පළමු ඉනිම - 280 (68) (ධනංජය ද සිල්වා 102, කමිදු මෙන්ඩිස් 102, දිමුත් කරුණාරත්න 17, කුසල් මෙන්ඩිස් 16, විශ්ව ප්‍රනාන්දු 9, කලීඩ් අහමඩ් 72/3, නහිඩ් රාණා 87/3, ශොරිෆුල් ඉස්ලාම් 59/1, යටිජුල් ඉස්ලාම් 31/1) 

බංග්ලාදේශ පළමු ඉනිම - 188 (51.3) (ටයිජුල් ඉස්ලාම් 47, ලිතන් දාස් 25, ශාදත් හුසේන් 18, කලීඩ් අහමඩ් 22, විශ්ව ප්‍රනාන්දු 48/4, කසුන් රාජිත 56/3, ලහිරු කුමාර 31/3) 

ශ්‍රී ලංකා දෙවැනි ඉනිම - 418 (110.4) (කමිදු මෙන්ඩිස් 164, ධනංජය ද සිල්වා 108, දිමුත් කරුණාරත්න 52, ඇන්ජිලෝ මැතිව්ස් 22, ප්‍රබාත් ජයසූරිය 25, නිෂාන් මධුෂ්ක 10, මෙහෙදි හසන් මිරාස් 74/4, නහිඩ් රාණා 128/2, ටයිජුල් ඉස්ලාම් 75/2) 

බංග්ලාදේශ දෙවැනි ඉනිම - 182 (49.2) (සකීර් හසන් 19, මොමිනුල් හක් නොදැවී 87, ටයිජුල් ඉස්ලාම් නොදැවී 06, මෙහෙදි හසන් 33, ශොරිෆුල් ඉස්ලාම් 12, විශ්ව ප්‍රනාන්දු 36/3, කසුන් රාජිත 56/5, ළහිරු කුමාර 39/2)