පළමු ටෙස්ට් තරගයේ පාලනය සිංහයින්ගේ දෝතට.

සංචාරක ශ්‍රී ලංකාව හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවති ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් පළමු ජය ශ්‍රී ලංකාවට

International Cricket

35

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශය සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වූ ඊයේ (24දා) තරගය නතර කරන අවස්ථාව වන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ලකුණු 47කට කඩුලු 5ක් දැවී අසීරු තත්ත්වයක පසු විය . ඒ අනුව ජයග්‍රහණය සදහා ලකුණු 510ක දැවැන්ත ඉලක්කයක් හඹා යන බංග්ලාදේශයට කඩුලු 5ක් පමණක් අතැතිව ජයග්‍රහණය සඳහා ලකුණු 464ක් ලබා ගත යුතුව තිබුණි.
  එම දැවැන්ත ඉලක්කය හඹා යෑමට පිටියට පිවිසි බංග්ලාදේශයේ ලකුණු පුවරුව ක්‍රියාත්මක වීමටත් පෙර මහමුදුල් හසන් ජෝයි කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකර ගැනීමට විශ්ව ප්‍රනාන්දුට හැකි වූ අතර නායක නජ්මුල් හුසේන් ෂැන්ටෝ ලකුණු 6කට දවා ගැනීමට රාජිතට හැකි විය. ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ ළහිරු කුමාර, ලකුණු 19ක් ලබා සිටි සකීර් හසන් දවා ගත් අතර සැඳෑ ආරක්ෂකයා ලෙස පැමිණි ශදාත් හුසේන් ලකුණු නොලබා දවා ගැනීමට යළිත් ක්‍රියාත්මක වූ විශ්වට හැකි විය. මුහුණදුන් පළමු පන්දුවෙන්ම ඉදිරියට පැන පහරක් එල්ල කිරීමට උත්සාහ කළ ලිතන් දාස් බංග්ලාදේශයේ 5 වැනි කඩුල්ල බවට පත් විය. කෙසේ වෙතත් දිනය නිමා වන අවස්ථාව වන විට මොමිනුල් හක් ලකුණු 7ක් සහ ටයිජුල් ඉස්ලාම් ලකුණු 6ක් ලබා නොදැවී පන්දුවට පහරදෙමින් සිටියේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී විශ්ව ප්‍රනාන්දු කඩුලු 3ක් දවා ගනිද්දී කසුන් රාජිත සහ ළහිරු කුමාර අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.
සිලෙට් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායකයාගේ ආරාධනයෙන් පළමුව ලකුණු රැස්කළ ශ්‍රී ලංකාව පන්දුවාර 68කදී සියලුදෙනා දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 280කි. එහිදී දක්ෂ පිතිකරණයක නිරත වූ ධනංජය ද සිල්වා සහ කමිදු මෙන්ඩිස්, 6 වැනි කඩුල්ල සඳහා ලකුණු 202ක් එක් කිරීම කැපී පෙනිණි. එහිදී ධනංජය සහ කමිදු යන දෙදෙනාම ලකුණු 102ක් බැගින් රැස්කරගත්තේ ශ්‍රී ලංකාව ගෞරවනීය ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යමිනි. එසේම පළමු ඉනිමේදී වෙනත් කිසිදු ශ්‍රී ලංකා පිතිකරුවකුට ලකුණු 20 සීමාවට ලඟා වීමට නොහැකි වීම ද විශේෂත්වයකි.
ඉන් අනතුරුව පිළිතුරු පළමු ඉනිම දියත් කළ බංග්ලාදේශයට පන්දුවාර 51.3කදී සියලුදෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 188ක් පමණි. සැඳෑ ආරක්ෂකයා ලෙස පිටියට පිවිසි ටයිජුල් ඉස්ලාම් රැස්කළ ලකුණු 47 හැරෙන්නට වෙනත් කිසිදු පිතිකරුවකුට සැළකිය යුතු ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ ලබා නොදීම කැපී පෙනිණි. පන්දු යැවීමේදී විශ්ව ප්‍රනාන්දු කඩුලු 4ක් දවා ගත් අතර කසුන් රාජිත සහ ලහිරු කුමාර අතරේ කඩුලු 3 බැගින් බෙදී ගියේය.
මෙහිදී බංග්ලාදේශ පළමු ඉනිමට වඩා  ලකුණු 92ක් ඉදිරියෙන් සිටිමින් දෙවැනි ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා මුල්පෙල පිතිකරුවන් නැවත වරක් අසාර්ථක විය. ඒ අනුව ලකුණු 113ක් තුළ ශ්‍රී ලංකා මුල්පෙල පිතිකරුවන් 5 දෙනාම නැවත ක්‍රීඩාගාරයේ අසුන් ගෙන සිටියේ යම් අවිනිෂ්චිත බවක් එක් කරමිනි. එහිදී නැවත වරක් නායක ධනංජයට එක් වූ කමිදු මෙන්ඩිස් 6 වැනි කඩුල්ලට නැවත වරක් ලකුණු 173ක දැවැන්ත සම්බන්ධතාවයක් ගොඩනැගූයේ පළපුරුදු මුල්පෙල පිතිකරුවන්ට මනා ආදර්ෂයක් සපයමින් වීම ද කැපී පෙනිණි.
මෙහිදී ටෙස්ට් ඉතිහාසයේ අංක 7 හෝ ඊට පහළ පිතිකරුවෙකු ලෙස පිටියට පිවිස එකම තරගයේ ඉනිම දෙකකදී ශතක දෙකක් රැස්කළ පළමු පිතිකරු ලෙස කමිදු, වාර්තා අතරට එක්වීම කැපී පෙනිණි. එසේම ටෙස්ට් තරගයක ඉනිම දෙකක දී ශතක දෙකක් රැස්කළ පළමු ශ්‍රී ලංකා ටෙස්ට් නායකයා ලෙස ධනංජය ද සිල්වා මෙහිදී වාර්තා අතරට එක් වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමට නව බලාපොරොත්තු රැසක් එක් කරමිනි.ඒ අනුව ශ්‍රී ලංකා දෙවැනි ඉනිම පන්දුවාර 110.4ක් තුළ සියලුදෙනා දැවී ලකුණු 418ක් ලෙසින් දැක්වුනේ බංග්ලාදේශයට ජයග්‍රහණය සඳහා ලකුණු 510ක දැවැන්ත ඉලක්කයක් හිමිකර දෙමිනි.
ලකුණු සාරාංශය
ශ්‍රී ලංකා පළමු ඉනිම - 280 (68) (ධනංජය ද සිල්වා 102, කමිදු මෙන්ඩිස් 102, දිමුත් කරුණාරත්න 17, කුසල් මෙන්ඩිස් 16, විශ්ව ප්‍රනාන්දු 9, කලීඩ් අහමඩ් 72/3, නහිඩ් රාණා 87/3, ශොරිෆුල් ඉස්ලාම් 59/1, යටිජුල් ඉස්ලාම් 31/1)
බංග්ලාදේශ පළමු ඉනිම - 188 (51.3) (ටයිජුල් ඉස්ලාම් 47, ලිතන් දාස් 25, ශාදත් හුසේන් 18, කලීඩ් අහමඩ් 22, විශ්ව ප්‍රනාන්දු 48/4, කසුන් රාජිත 56/3, ලහිරු කුමාර 31/3)
ශ්‍රී ලංකා දෙවැනි ඉනිම - 418 (110.4) (කමිදු මෙන්ඩිස් 164, ධනංජය ද සිල්වා 108, දිමුත් කරුණාරත්න 52, ඇන්ජිලෝ මැතිව්ස් 22, ප්‍රබාත් ජයසූරිය 25, නිෂාන් මධුෂ්ක 10, මෙහෙදි හසන් මිරාස් 74/4, නහිඩ් රාණා 128/2, ටයිජුල් ඉස්ලාම් 75/2)
බංග්ලාදේශ දෙවැනි ඉනිම - 47/5 (13) (සකීර් හසන් 19, මොමිනුල් හක් නොදැවී 07, ටයිජුල් ඉස්ලාම් නොදැවී 06, විශ්ව ප්‍රනාන්දු 13/3, කසුන් රාජිත 19/1, ළහිරු කුමාර 6/1)