2024 ඔලිම්පික් උලෙළට ආරක්ෂාව පිලිබද තර්ජනයක්

ප්‍රංශයේදී ආරම්භ වීමට නියමිත 2024 ඔලිම්පික් උලෙළේ ආරක්ෂක සැලසුම අස්ථානගත වෙයි.

International Athletics

97

ප්‍රංශයේ පැරිස් නුවරදී නොදුරේදීම ආරම්භ වීමට නියමිත 2024 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ආරක්ෂක සැළසුම් අස්ථානගත වී ඇති බවට පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඊට අදාළ මාධ්‍ය වාර්තාවන්හි දැක්වෙන්නේ මෙවර ප්‍රංශ ඔලිම්පික් උළෙලේ ආරක්ෂක සැළසුම් සියල්ල ඇතුළත් කර තිබූ ‘පෙන් ඩ්‍රයිවය’ තිබූ ගමන් මල්ලක් පැරිස් නුවර දුම්රියකදී සොරකම්කර ඇති බවටයි. කෙසේ වුවද අදාල ආරක්ෂක සැළසුම් අධීක්ෂණය භාරව කටයුතු කරන ඉන්ජිනේරුවරයා, ඔහු ගමන් ගත් දුම්රිය මැදිරියේ ගමන් මළු රඳවනයේ ඉහත ආරක්ෂක සැළසුම් ඇතුළත් කර තිබූ ‘පෙන් ඩ්‍රයිවය’ තිබූ ගමන් මල්ල තබා ඇති අතර එහිදී යමෙකු එය සොරාගෙන ඇති බව ද එරට පොලිසිය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.
එම ආරක්ෂක සැළසුම් අධීක්ෂණය භාර ඉන්ජිනේරුවරයා සතු පෞද්ගලික් ‘ලැප්ටොප්’ පරිඝණයකත් තවත් අතිශය සංවේදී තොරතුරු ඇතුළත් තවත් ‘පෙන් ඩ්‍රයිවයන්‘ දෙකක් ද එම ගමන් මල්ලේ තිබී ඇති බවට තවදුරටත් කරුණු වාර්තා වේ.
කෙසේ වුවද අදාළ සොරකම පිලිබදව ප්‍රංශයේ රථවාහන පොලිසියේ මෙහෙයැවීම යටතේ විශේෂ පරීක්ෂණයක් ක්‍රියාත්මක බව ද එරට මාධ්‍ය වාර්තා කර තිබේ .
එළැඹෙන ජූලි මස 26 වැනිදා ප්‍රංශයේ පැරිස් නුවරදී ආරම්භ වීමට නියමිතව ඇති 2024 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සෑම දිනයකම  ආරක්ෂාව සඳහා එරට ආරක්ෂක අංශ සාමාජිකයන් 35,000කට අධික සංඛ්‍යාවක් සේවයට අනියුක්ත කිරීමට නියමිතව ඇති බව ද තවදුරටත් සදහන් වෙයි.