ශ්‍රේණිගත කිරීම් වලින් පැතුම් ඉදිරියට

එක්දින ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්

International Cricket

84

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් නවතම එක්දින ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් ඊයේ (20) යාවත්කාලීන කර තිබූ අතර එහිදී ශ්‍රී ලංකා පිතිකරුවන් කිහිපදෙනෙකුම ඉදිරියට පැමිණ තිබීණි. 

බංග්ලාදේශ කණ්ඩායම සමඟින් පැවැති එක්දින තරගාවලිය පරාජයට පත් වුවද ශ්‍රී ලංකා පිතිකරුවන් මෙලෙස ශ්‍රේණිගත සටහනේ ඉදිරියට පැමිණ තිබීම ද සතුටට කරුණකි.

ඒ අනුව ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක, එක්දින පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීමේ ස්ථාන 3ක් ඉදිරියට පැමිණෙමින් 8 වැනි ස්ථානය හිමිකරගෙන තිබේ. එහිදී පැතුම්ට ශ්‍රේණිගත ලකුණු 711ක් හිමිව තිබේ. එමෙන්ම චරත් අසලංක ද ස්ථාන 2ක් ඉදිරියට පැමිණෙමින් 14 වැනි ස්ථානය හිමිකරගෙන ඇත්තේ ශ්‍රේණිගත ලකුණු 681ක් හිමිකර ගෙන තිබේ. 

එපමණක් නොව මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාවේ මැදපෙල බර කරට ගනිමින් සුපිරි පිතිකරණයක් දියත් කළ ජනිත් ලියනගේ ස්ථාන 118ක් ඉදිරියට පැමිණ එක්දින පිතිකරුවන් අතර 87 වැනි ස්ථානය හිමිකරගෙන තිබීම විෂේශත්වයකි. 

කෙසේ වෙතත් මෙම තරගාවලිය පුරාපිතිකරුවකු ලෙස තම ප්‍රවේගකාරී පිතිහරඹය දියත් නොකළ ශ්‍රී ලංකා එක්දින නායක කුසල් මෙන්ඩිස් තවදුරටත් එක්දින පිතිකරුවන්ගේ ශ්‍රේණිගත සටහනේ 42 වැනි ස්ථානයේ පසුවෙයි. 

එසේම නිමා වූ බංග්ලාදේශ එක්දින තරගාවලියේදී අසාර්ථක වූ සධීර සමරවික්‍රම ද පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ ස්ථාන 8ක් පසුබසිමින් 47 වැනි ස්ථානයට පත්ව තිබේ.

තවද එක්දින පන්දු යවන්නන්ගේ සටහනේ එක් ස්ථානයක් පසුබසිමින් 13 වැනි ස්ථානයට පත් වීමට මහීෂ් තීක්ෂණට සිදුව තිබූ අතර වනිඳු හසරංග, ස්ථාන 4ක් ඉදිරියට පැමිණෙමින් 25 වැනි ස්ථානය හිමිකරගෙන තිබිණි. 

එසේම දිල්ෂාන් මධුසංක ද ස්ථාන 9කන් ඉදිරියට පැමිණෙමින් පන්දු යවන්නන්ගේ සටහනේ 29 වැනි ස්ථානයට පත්ව ඇත.