තුෂාරගේ ප්‍රවේගකාරී පන්දුව ශ්‍රී ලංකාවට ජය ගෙන එයි

ශ්‍රී ලංකා-බංග්ලාදේශ 20යි 20 තරගාවලි ජය ශ්‍රී ලංකාවට

International Cricket

15583

සසංචාරක ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැති තුන්වන සහ අවසන් 20යි 20 තරගය අද පස්වරුවේ ආරම්භ විය. එහිදී බංග්ලාදේශ මුල් පෙළ සුනුවිසුණු කළ නුවන් තුෂාරගේ තියුණු පන්දුයැවීම සහ කුසල් මෙන්ඩිස්ගේ පරීක්ෂාකාරී පිතිකරණය හමුවේ ශ්‍රී  ලංකාව සහ බංගලාදේශය අතර පැවැති තෙවන 20යි 20 තරඟයෙන් ලකුණු 28ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද  හැකියාව ලැබුණි.

මේ අනුව දෙරට අතර තරඟ තුනකින් සමන්විත වූ 20යි 20 තරඟාවලිය 2/1ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය . 

මෙම තරගය බංග්ලාදේශයේ 'සිල්හෙට්' ක්‍රීඩාංගනයේදී පැවැති තරඟයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ නායකයාගේ ඇරයුමින් මුලින්ම පන්දුවට පහරදීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 174ක් ලබා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා ඉනිමට සවියක් වෙමින් ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් ඉතා දැකුම්කළු පිතිහරඹයක් දියත් කරමින් පන්දු 55කින් වේගවත් ලකුණු 86ක් රැස් කිරීමට සමත් වූ අතර ඊට හයේ පහර 6ක් සහ හතරේ පහර 6ක් ඇතුලත් විය.

මෙහිදී දසුන් ශානක ඉනිමේ අවසන් පන්දුවාර කිහිපයේ පිටියට පිවිසී පන්දු 9කින් වේගවත් ලකුණු 19ක් රැස් කිරීමට සමත් විය.

බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමට පිටියට පිවිසි ටස්කින් අහමඩ් ලකුණු 25කට කඩුලු 3ක් සහ රිෂාඩ් හුසේන් ලකුණු 35කට කඩුලු 2ක් දවාගත්හ. 

අනතුරුව ලකුණු 175ක පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට බංග්ලාදේශ ක්‍රීඩකයින් පිටියට පිවිසි අතර ඔවුන්ට පන්දුවාර 19යි පන්දු 4ක් තුල  සියල්ලන් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 146ක් පමණී. 

සිව්වන පන්දුවාරයේ පන්දු යොමු කිරීමට පැමිණි නුවන් තුෂාර බංග්ලාදේශ පිතිකරණ ලැයිස්තුවේ මුල්පෙළ සුනුවිසුණු කරමින් එම පන්දු වාරයේ දෙවන, තුන්වන සහ සිව්වන පන්දුවලින් පිළිවෙලින් බංග්දේශ නායක නජ්මුල් සන්ටෝ, තව්හිඩ් හිරිදෝයි සහ මහමදුල්ලා දවාගනිමින් විශිෂ්ට කඩුලු ත්‍රිත්වයක් වාර්තා කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා පන්දුයවන්නෙකු අන්තර්ජාතික 20යි 20 තරඟයක ලබාගත් හයවෙනි කඩුලු ත්‍රිත්වය ලෙස මෙය වාර්තා පොත් අතරට එක් විය.

එහිදී තුෂාර සිය පන්දුවාර 4ට ලකුණු 20ක් පමණක් ලබාදී කඩුලු 5ක් දවා ගනිමින්  බංග්ලාදේශ ඉනිම අඩපණ කල අතර ශ්‍රී ලංකා පන්දුයවන්නෙක් මෙවැනි දක්ෂතාවයක් දැක්වූ 6 වැනි අවස්ථාව මෙය වෙය වීමද විශේෂ්ත්වයක් බවට පත් විය.

කෙසේ වුවද බංග්ලාදේශය වෙනුවෙන් සටන්කාමී ඉනිමක් දියත් කළ රිෂාඩ් හුසේන් පන්දු 30ක් තුළ හයේ පහර 7ක් සමඟින් වේගවත් ලකුණු 53ක් රැස් කළ නමුත් එය ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවීය. ටස්කින් අහමඩ් පන්දු 21ට ලකුණු 31යි.

වනිදු හසරංග පන්දුවාර 4ක් යවා ලකුණු 32කට කඩුලු 2ක් බිඳ දැමීය. 

මෙහිදී තරඟයේ වීරයා සම්මානය නුවන් තුෂාරත්, තරඟාවලියේ වීරයා සම්මානය කුසල් මෙන්ඩිස්ටත් හිමිවිය. 

මේත් සමග දෙරට අතර මේ දක්වා පවත්වා ඇති 20යි 20 තරඟාවලි 5   අතරින් එක් තරඟාවලියක් පමණක් සම තත්ත්වයෙන් අවසන් වී, සෙසු තරඟාවලි 4 ජය ශ්‍රී ලංකාවට  හිමිකරගනිමින් තවදුරටත් අපරාජිතව සිට මෙරට නම ආරක්ෂා කිරීමට සමත් වූහ.

බංග්ලාදේශය සමග මීළඟට පැවැත්වීමට නියමිත  එක්දින ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය ලබන 13දා චිතගොං හීදි ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත.