බලධාරීන්ගෙන් නෙත් විවර නොවූ ශ්‍රී ලංකාවේ දෘශ්‍යාබාධිත ක්‍රිකට්

2024 ලෝක කුසලානය ලංකාවට ගෙන ඒමට ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත කණ්ඩායම බලධාරීන්ගෙන් උදව් ඉල්ලයි.

National Cricket

91

බලධාරීන්ගේ නිසි අවධානය නිසි ලෙස යොමු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමට ජාත්‍යන්තර තරගාවලි ද්විත්වයක් අහිමිව ගිය බව අප මේ වන විට කාගේත් කතා බහට ලක් වන කරුණකි.  එලෙස අවස්ථා ගණනාවකදී බලධාරීන්ට මේ පිලිබදව අනාවරණයන් කිරීම් සිදු කල ද එම අනාවරණයන්  ‘බීරි අලින්ට වීනා වයනවා’ මෙන්   ශ්‍රී ලංකා කණ්ඩායමට අදාළ තරගාවලි ද්විත්වය සඳහාම එක්වීමේ අවස්ථාව අහිමි විය.

කෙසේ වෙතත්  ඉදිරියේ දී පැවැත්වීමට නියමිතව ඇති දෘශ්‍යාබාධිත විස්සයි 20 ලෝක කුසලානයට ශ්‍රී ලංකා කණ්ඩායම එක් කිරීමත් පසුගිය තරගාවලිය අහිමි වීම් පිලිබදව අදහස් දැක්වීමත් වෙනුවෙන් මාධ්‍යය සාකච්ඡාවක් පවත්වනු ලැබීය. ඒ  ක්‍රීඩා බලධාරීන්ගේ අවධානය මේ සදහා  යොමු කරවා ගැනීමේ අරමුණෙනි.
මෙම මාධ්‍ය හමුවේදී මෙම කරුණු සම්බන්ධයෙන් මෙලෙස අදහස් දැක්වූ ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් සංගමයේ නියෝජ්‍ය භාණ්ඩාගාරික සහ ඩුබායි සහ ඉන්දීය සංචාරයේ සම්බන්ධීකරණ නිලධාරියා ලෙසින් කටයුතු කළ සුදේෂ් තරංග මෙසේ අදහස් දැක්වීය .
“දෘශ්‍යාබාධිත ලෝක කුසලාන තරගාවලිය 1998 වසරේදී ආරම්භ කළ අතර මේ වන විට ශ්‍රී ලංකාව පන්දුවාර 40 තරග 5කටත් විස්සයි 20 තරග 3කටත් එක්වී තිබෙනවා. එසේම අවසන් වරට පැවැති ලෝක කුසලානයේ තෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමි වුණා. ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේදීත් ශ්‍රී ලංකාව තෙවැනි ස්ථානයේ පසුවෙනවා. කෙසේ වෙතත් මේ වසරේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන විස්සයි - 20 තරගාවලියට පෙර සූදානමක් ලෙස ඩුබායි සහ ඉන්දීය තරග සංචාර ද්විත්වයකට එක්වීමේ අවස්ථාව අපිට හිමිවූයේ ඉන්දියානු දෘශ්‍යාබාධිත ක්‍රිකට් සංගමයේ ආරාධනයක් ලෙසයි. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ගුවන් ටිකට්පත් ඇතුළු සියලු වියදම් ඉන්දියානු දෘශ්‍යාබාධිත ක්‍රිකට් සංගමය දැරීමට සූදානමින් සිටියා. අපට තිබුණේ, වීසා බලපත්‍ර ලබා ගැනීමත් ඇඳුම් පැළඳුම් සහ ක්‍රීඩා උපරකණ සපයා ඔවුන් අදාළ තරගාවලිය සඳහා පිටත් කර හැරීම පමණයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව තුළ සිදු වූ ප්‍රමාද දෝශයන් නිසා මෙම සංචාරයට එක්වීමේ අවස්ථාව ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත කණ්ඩායමට අහිමි වුණා. ඒ අනුව අපගේ කණ්ඩායම පිටත්ව යෑම සඳහා පසුගිය 21 වැනිදා උදෑසන 9.30ට ගුවන් යානය වෙන්කර  දී තිබුණත් අපගේ වීසා බලපත්‍ර ලැබුණේ එදින දහවල් 2.30ත් පසුවීමෙන් අනතුරුවයි."
තවදුරටත් අදහස දැක්වූ සුදේෂ් තරංග මහතා “කෙසේ නමුත් එම සංචාරයට අවශ්‍ය නිල ඇඳුම් ලබා ගැනීම සඳහා කොලොම්තොට එක්සත් වෙළෙඳ සංගමයත්, ‘වින් ෆ්‍රෙන්ඩ් ඉන්ටර්නැෂනල්‘ පුද්ගලික සමාගමත්, බෝසත් එක්සත් වෙළෙඳ සංගමයත් උදව් කළා. කෙසේ වෙතත් වෙනත් ක්‍රිකට් ක්‍රීඩා කරන වෙනත් රටවල දෘශ්‍යාබාධිත ක්‍රිකට් සංගමය පවතින්නේ ඔවුන්ගේ ජාතික ක්‍රිකට් ආයතන හෝ පාලක මන්ඩල යටතේයි. එවිට වාර්ෂිකව මෙම ක්‍රීඩාව කරගෙන යෑමට ක්‍රීඩකයින්ට අවශ්‍ය පහසුකම් එම ක්‍රිකට් ආයතනයන්ගෙන් ලබා දෙනවා. අපි සත්‍ය වශයෙන්ම රජයෙන් බලාපොරොත්තු වෙන්නේ එයයි. ඒ අනුව උදාහරණයක් ලෙස ඕස්ටේ්‍රලියාව තුළ සාමාන්‍ය ජාතික තළයේ ක්‍රිකට් ක්‍රීඩකයනු සහ දෘශ්‍යාබාධිත ජාතික තළයේ ක්‍රිකට් ක්‍රීඩකයකු අතර කිසිදු වෙනසක් නැහැ. ඒ අනුව අසීමිත කැපවීමෙන් මෙම ක්‍රීඩාවේ නිරත වන ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රීඩකයන් අපිට ඉදිරියට කරගෙන යන්න සහයෝගය ලබා දෙන ලෙස ක්‍රීඩාව කරවන බලධාරීන්ගෙන් ඉල්ලනවා. අපේ ඉලක්කය මෙම ඉන්දියානු සංචාරය නොවෙයි. 2024 වසරේ පැවැත්වෙන දෘශ්‍යාබාධිත විස්සයි 20 ලෝක කුසලානය ශ්‍රී ලංකාවට ගේන්න අපිට පුළුවන්. එපමණක් නොව පන්දුවාර 40 ලෝක කුසලානයත් ශ්‍රී ලංකාවට ජයග්‍රහණය කර දෙන්න අපිට පුළුවන්. ඒ වෙනුවෙන් ක්‍රීඩකයින්ට අවශ්‍ය පහසුකම් ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා. අපි බලධාරීන්ගෙන් ඉල්ලන්නේ අපිව ශ්‍රී ලංකා ක්‍රිකට් යටතට ගෙන අනෙක් ක්‍රීඩකයන්ට මෙන්ම සමව සළකන ලෙසයි.” යනුවෙන් පැවැසීය.
මාධ්‍ය හමුව ඇමතූ ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් සංගමයේ ලේකම් චමින්ද පුෂ්පකුමාර මහතා ද මෙලෙසින් අදහස් දැක්වීය
. “මම මෙම සංගමයේ නිලධාරියෙකු ලෙස සේවය කරන්නට පටන් ගෙන දැනට වසර 8ක් පමණ වෙනවා. එසේම දැනට ක්‍රීඩා අමාත්‍යවරුන් 10 දෙනෙකුට වැඩි ප්‍රමාණයක් හමුවී සාකච්ඡා පවත්වා තිබෙනවා. එහිදී අපගේ ගැටලු සම්බන්ධයෙන් පැහැදිලි කර ඉල්ලීම් ඉදිරිපත් කර තිනෙවා. නමුත් නිසි අධීක්ෂණයයක් යටතේ කිසිදු සම්බන්ධකිරීමක් මෙතෙක් සිදු කර නැහැ. එසේම මූල්‍ය තත්ත්වයෙන් අපි ඉතාමත් පහළ තත්ත්වයකයි ඉන්නේ. ඉහත අහිමි වූ සංචාර සඳහා සූදානම් වීමේදී ණය පදනම යටතේ සමහර දේවල් ලබා ගැනීමට අපිට සිදු වුණා. එම ණය මුදල් ගෙවීම සම්බන්ධයෙනුත් අපි දැඩි ගැටලුවකට මේ වන විට මුහුණදී තිබෙනවා. කෙසේ වෙතත් අවසාන වශයෙන් පැවැසීමට ශ්‍රී ලංකාවේ දෘශ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩාවට අනුග්‍රහයක් හෝ ඇත්තේ රජයේ නිසි අවධානයක් යොමු නොවුනහොත් සත්‍ය වශයෙන්ම ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩාව මෙතැනින් නවතිනවා. එය කිසිවෙකුට වළක්වාලිය නොහැකියි. අපි නමට පමණක් ජාතික කණ්ඩායමක්. කිසිදු පහසුකම්ක් නැහැ. පහසුකම් ඉල්ලූ විට විවිධ කරුණු ඉදිරිපත් කරමින් එය මගහැර යනවා. 2019 වසරින් අනතුරුව ජාතික තරගාවලියක් පැවැත්වීමට නොහැකි වුණා. අපි වෙනුවෙන් කිසිවෙකු නැහැ. අපිව පැත්තකට දාන්න එපා. එසේම අවසන් වශයෙන් ජනාධිපතිවරයා ඇතුළු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ අපිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතට ගන්නා ලෙසයි.”
ඡායාරූප - මාධ්‍ය සාකච්ඡාවෙහි  අවස්ථාවකි.