අපේ රටේ නමත් ඉහළින්ම තබන්න උදව් කරන.

යුරෝපා මෝටර් රථ ධාවන තරගාවලියට යන්න ඩිලන්ත සහ අශාන් සහය පතයි.

Other Sports

92

2024 වසරේදී පැවැත්වීමට නියමිත ‘ජී ටී 2’ යුරෝපා මෝටර් රථ ධාවන තරගාවලිය (GT2 European motor racing series ) සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මෝටර් රථ ධාවන ශූරයින් දෙදෙනකු වන ඩිලන්ත මාලගමුව (Dilantha Malagamuwa ) සහ අශාන් සිල්වා (Ashan Silva ) සහභාගි වීමට නියමිතව ඇති අතර අදාළ තරගාවලියට එක්වීමට ඉතා විශාල පිරිවැයක් දැරීමට සිදුසිදුවන බව  පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී සදහන් විය. 

ඒ අනුව වසරකට යුරෝ ලක්ෂ 3ක පමණ අධික පිරිවැයක් දැරීමට සිදුවන බවත් ඒ වෙනුවෙන් ක්‍රීඩාලෝලීන්ගේ සහයෝගය අපේක්ෂා කරන බවත් ඩිලන්ත මාලගමුව සහ අශාන් සිල්වා එහි දී පැවැසීය. 

මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව “පළමු වතාවටයි මම අන්තර්ජාතික තරගාවලියක් සඳහා තවත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයකු සමගින් සහභාගි වන්නේ. ඒ අනුව අශාන්, විශාල දක්ෂතාවයක් තිබෙන ධාවකයෙක්. ඒ අනුව අශාන් සහ මම යුරෝපීය ‘ජී.ටී. 2’ තරගාවලියට එක්වෙන්න අපේක්ෂා කරනවා. මෙහි තරග වට 6ක් තරග 12ක් රටවල් 6ක ක්‍රියාත්මක වෙනවා. කෙසේ වෙතත් ක්‍රිකට් මළල ක්‍රීඩා ඇතුළු ක්‍රීඩා රැසකින්ම ශ්‍රී ලංකාවට විශාල ගෞරවයක් ලබා දී තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවට වඩාත් ගෞරවයක් අත්කර දී තිබෙන්නේ ක්‍රීඩාවෙන්. එසේම තව කොපමණ වසර ගණනක් මට ක්‍රීඩාවේ රැඳී සිටින්න හැකිවේ දැයි මම දන්නේ නැහැ. එම නිසා තවත් අපේ ක්‍රීඩකයකු ඉදිරියට ගෙන යා යුතුයි කියා මම සිතුවා. ඊට වඩාත් සුදුසුක ක්‍රීඩකයා අශාන් සිල්වා බවයි මගේ හැඟීම. එම නිසා අපි තීරණය කළා සියලුදෙනාගේ උදව්වෙන් තරගාවලිය සඳහා ඉදිරිපත් වීමට. ඊට අපේ රටේ ජීවත් වන මෙන්ම විදෙස්ගත ශ්‍රී ලාංකිකයෙන්ගේත් සහය අපි බලාපොරොත්තු වෙනවා. එසේම මේ වසරේදී මටත් අශාන්ටත් යුරෝපීය ‘ජී.ටී. 2’ ශූරතාවයට තරග වැදී ජයග්‍රහණය කර ශූරතාවය ශ්‍රී ලංකාවට රැගෙන ඒමට හැකියාව තිබෙනවා. ඒ අනුව ලොව ධනවත්ම ක්‍රීඩකයින් එක්වන මෙම තරගාවලියේදී අපේ රටේ නමත් ඉහළින්ම තබන්න උදව් කරන ලෙස සියලු දෙනාගෙන් මම ඉල්ලා සිටිනවා.” යනුවෙන් පැවැසීය. 

මෙවර ‘ජී. ටී. 2’ මෝටර් රථ ධාවන තරගාවලිය (GT2 European motor racing series) රටවල් 6ක දී පැවැත්වීමට නියමිතවය.