ශ්‍රී ලංකාවට රන් පදක්කම් 9ක් සහ රිදී පදක්කම් 6ක ජයක්

දකුණු ආසියානු කනිෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලිය 2024 .

Other Sports

10087

දකුණු ආසියානු  අවුරුදු 15න් පහළ සහ අවුරුදු 17න් පහළ කලාපීය කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියේදී වාර්තාගත ලෙස රන් පදක්කම් 9ක් සහ රිදී පදක්කම් 6ක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ. ඉස්ලාමාබාද් නුවර පාකිස්තාන ක්‍රීඩා සංකීර්ණයේ පසුගියදා පැවැති මෙම ශූරතා තරගාවලියේ අවුරුදු 15න් පහළ තරග  අංශයෙන් රන් පදක්කම් 5ක් දිනා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ අවුරුදු 17න් පහළ තරග අංශයෙන් දිනා ගත් රන් පදක්කම් සංඛ්‍යාව 4කි.  ඊට අමතරව 15න් පහළ තරග අංශයෙන් රිදී පදක්කම් 2කුත්,අවුරුදු 17න් පහළ තරග අංශයෙන් රිදී පදක්කම් 4කුත් දිනා ගැනීමට ද ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.
ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම ශූරතාවලියේදී පාකිස්තාන, නේපාල සහ මාලදිවයින ක්‍රීඩක ක්‍රීඩිකාවන් පරාජය කරමින් අවුරුදු 15න් පහළ'සහ 17න් පහළ'තරග අංශ ද්විත්වයේ බාලක හා බාලිකා ඒකල සහ යුගල සමඟ මිශ්‍ර යුගල වශයෙන් අවසන් තරග  10ටම එක් වූ අතර,ඉන් 5ක්ම පැවැතියේ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර වීම විශේෂත්වයකි. ඉතිරි අවසන් තරග 5න් 4ක්ම ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජයගත් අතර,පරාජය වූ එකම අවසන් තරගය වූයේ අවුරුදු 17න් පහළ බාලක යුගල තරගය පමණි.
අවුරුදු 15න් පහළ තරග අංශයේ බාලක ඒකල අවසන් මහා තරගයේදී ලකුණු 21-15ක් සහ 21-17ක් ලෙස පාකිස්තානයේ අබ්දුල් හසීබ් පරාජය කිරීමට අමාවන් අමරසිංහ සමත් වූ අතර,ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අතර පැවැති එම වයස් කාණ්ඩයේ බාලිකා ඒකල අවසන් මහා තරගයේදී ලකුණු 14-21ක්,21-13ක් සහ 21-18ක් ලෙස තෙනුකි අයංසා ද සිල්වා පරාජය කිරීමට බෙනුරි ජනංගා විද්‍යාතිලක සමත් වූවාය. බාලක යුගල අවසන් මහා තරගයේදී අමාවන් අමරසිංහ සහ චෙනාල් දෙව්ෂාන් මඩපාතගේ විසින් පාකිස්තානයේ ෂහ්සේන් මලික් සහ මුහම්මඩ් රියාන් ලකුණු 21-14ක් සහ 21-18ක් ලෙස පරාජය කළ'අතර,'බාලිකා යුගල අවසන් මහා තරගයේදී  පාකිස්තානයේ මහාම් අම්මාඩ් සියා සහ රොමීසා ෆයිසාල් ලකුණු 21-7ක් සහ 21-8ක් ලෙස පරාජය කිරීමට තෙනුකි අයංසා ද සිල්වා සහ බෙනුරි ජනංගා විද්‍යාතිලක සමත් වූහ. ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර පැවැති එම වයස් කාණ්ඩයේ මිශ්‍ර යුගල අවසන් මහා තරගයේදී චෙනාල් දෙව්ෂාන් මඩපාතගේ සහ බෙනුරි ජනංගා විද්‍යාතිලක ලකුණු 19-21ක්,21-5ක් සහ 21-15ක් ලෙස අමාවන් අමරසිංහ සහ තෙනුකි අයංසා ද සිල්වා හමුවේ පරාජයට පත් වූහ.
ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතර පැවැති අවුරුදු 17න් පහළ බාලක ඒකල අවසන් මහා තරගයේදී මිහිල ජයවීර ලකුණු 21-19ක්, 19-21ක් සහ 17-21ක් ලෙස තේජන හේරත් හමුවේ පරාජයට පත් වූ අතර,ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අතර පැවැති එම වයස් කාණ්ඩයේ බාලිකා ඒකල අවසන් මහා තරගයේදී ලු‍ක්ෂාණා කුමාර්ට එරෙහිව ලකුණු 21-17ක සහ 21-12ක ජයක් නෙත්මි රත්නායකට හිමි විය. බාලක යුගල අවසන් මහා තරගයේදී තේජන හේරත් සහ මිහිල ජයවීර ලකුණු 21-18ක්,18-21ක් සහ 21-19ක් ලෙස පාකිස්තානයේ ෆහඩ් අහමඩ් සහ කුසෙයිමා ශහ්සාඩ් හමුවේ පරාජයට පත් වූ අතර,'බාලිකා යුගල අවසන් මහා තරගයේදී පාකිස්තානයේ රොෂන්‍යා ඉහ්සාන් සහ සම්හා නවීඩ් ලකුණු 21-9ක් සහ 21-7ක් ලෙස පරාජය කිරීමට ලු‍ක්ෂාණා කුමාර් සහ නෙත්මි රත්නායක සමත් වූහ. මිශ්‍ර යුගල අවසන් මහා තරගයේදී තේජන හේරත් සහ ලු‍ක්ෂාණා කුමාර්ට එරෙහිව ලකුණු 21-17කින් සහ 21-13කින් ජය අත්කර ගැනීමට මිහිල ජයවීර සහ නෙත්මි රත්නායක සමත් වූහ.
අවුරුදු 15න් පහළ තරග අංශයෙන් අමාවන් අමරසිංහ සහ අවුරුදු 17න් පහළ'තරග අංශයෙන් නෙත්මි රත්නායක ත්‍රිත්ව ශූරතා දිනා ගැනීමට සමත් වූහ.