ජාතික ඔලිම්පික් කමිටුවෙන් ශ්‍රී ලංකාවට තවත්පදක්කමක්

19වැනි ආසියානු ක්‍රීඩා උළෙල

Other Sports

306

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මට්ටමෙන් සහභාගී වන සෑම ප්‍රධාන ක්‍රීඩා උළෙලකදීම රටට පදක්කම් වෙනුවෙන් නොව තමන්ට අවශ්‍ය පුද්ගලයින් පිට රට ගෙනයාමේ සෙල්ලම සුපුරුදු පරිදි මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේදීද ජාතික ඔලිම්පික් කමිටුව (එන්ඕසී) විසින් සිදුකර ඇති බවට වාර් තා වේ.


මෙසේ එන්ඕසී ය විසින් මෙවර චීනයේ පැවැත්වෙන 19වැනි ආසියානු ක්‍රීඩා උළෙලට බොක්සිං තරග සඳහා රැගෙන ගොස් ඇත්තේ ශ්‍රීලංකාවේදී වත් දේශීය බොක්සිං තරගයක් දිනා ගැනීමට නොහැකි පුද්ගලයෙකි. මෙවර ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් බොක්සිං ක්‍රීඩක-ක්‍රීඩිකාවන් දෙදෙනෙකුට අවස්ථාව ලබා දෙන ලෙස ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සම්මේලනය විසිින් එන්ඕසී යෙන් ඉල්ලීමක් කළද එම ඉල්ලීම ඉවත දමා එක් ක්‍රීඩකයෙකුට පමණක් නිල වශයෙන් අවස්ථාව ලබා දී තිබුණි. ඒ අනුව ජාතික බොක්සිං තේරීම් කමිටුව අනුමත කළ  මෙ ක්‍රීඩකයා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී විය.


නමුත් බොක්සිං ක්‍රීඩාවෙන් දෙදෙනෙකුට අවස්ථාව දිය නොහැකි යැයි ප්‍රකාශ කළ එන්ඕසී බලධාරීන් ඉන් පසුව ඔවුන්ට හිතවත් පුද්ගලයෙකු බොක්සිං ඉසව්ව සඳහා පස්ස දොරෙන් ඇතුළත් කොට චීනයට රැගෙන ගොස් ඇති අතර එම පුද්ගලයා එන්ඕසී යට හිතවත් ජාත්‍යන්තර බොක්සිං තීරකවරියකගේ පෙම්වතා බවද දැනගන්නට ඇත. තවද මෙම හිතවතා මෙන්ම පෙම්වතා වන පුද්ගලයා මාස 8ක පමණ කාලයක් බොක්සිං ක්‍රීඩාවෙන් ඈත්ව සිටි අයෙකු බවත් පසුගිය ජාතික මහා ක්‍රීඩා උළෙලේදී මධ්‍යම පළාත නියෝජනය කරමින් බොක්සිං තරග ඉසව්වකට සහභාගී වී ඉන් පරාජයට පත්වූ අයෙකු බවත් පැවැසේ.


කෙසේ වෙතත් බොක්සිං ක්‍රීඩකයෙකු ලෙස සැළකෙන ‍මෙම පුද්ගලයා තහනම් උත්තේජක භාවිතා කරමින් ඇඟ පුම්බා ගත් කෙනෙකු ලෙස බොක්සිං ක්ෂේත්‍රයේ නමක් දරා සිටින අතර යම් හෙයකින් මොහු ආසියානු ක්‍රීඩා උළෙල තරගයකට සහභාගී කළහොත් එම තහනම් උත්තේජක පරීක්ෂාවකට කොටු විය හැකි බවටද දැන් සැක පහළවී ඇතැයි කතා බහට ලක්වෙමින් පවතී. තවද මහනුවර පදිංචි මෙම පුද්ගලයා යම් තරගයකට චීනයේදී මෙවර සහභාගී වන්නේ නම් ඔහු වෙනුවෙන් බොක්සිං තරග වළල්ලේ වගකීම ගන්නට කිසිදු පුහුණුකරුවෙකු හෝ සහාය පුහුණුකරවෙකු ඉදිරිපත්ව නොමැති බවද නවතම ආරංචි මාර්ග සඳහන් කරයි. හේතුව නිල වශයෙන් තෝරා ගෙන පැමිණි ක්‍රීඩකයෙක් නොවන නිසාත් තහනම් උත්තේජක පරීක්ෂාවකට ලක්වී ඉන් වරදකරු වුවහොත් එහි වගකීම ගන්නට නොහැකි නිසාත් බව පැවැසේ.