වනිඳුට සහ චමීරට ලෝක කුසලානය මග හැරෙන ලකුණු

චාමික හෝ දුෂාන් ආදේශක ලෙස නම් කරයි !

National Cricket

319

දුෂ්මන්ත චමීරට සහ වනිදු හසරංගය එළැඹෙන ඔක්තෝබර් මාසයේදී ආරම්භ වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වීමේ අවස්ථාව අහිමිව යනු ඇති බව වාර්තා වේ. 

ඒ අනුව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වීමට එළඹෙන අඟහරුවාදා (26) ඉන්දියාව බලා පියාසර කිරීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග ඔවුන් දෙදෙනා එක් නොවන බවද  ක්‍රිකට් ආරංචිමාර්ග සදහන් කරයි. 

වනිදුගේ ආබාධ තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වෛද්‍ය ප්‍රධානී මහාචාර්ය අර්ජුන ද සිල්වා ද පවසා තිබුණේ, ලෝක කුසලාන තරගාවලිය සඳහා වනිඳුගේ සහභාගිත්වය ඉතා අවිනිෂ්චිත බවයි. 

වනිදු තුන්වැනි මට්ටමේ මස් පිඩු පෙරලීමකට ලක්ව සිටින බවත් විදේශීය වෛද්‍යවරුන් වෙත යොමුකිරීමෙන් අනතුරුව ශල්‍යකර්මයකට ලක් කළ යුතු ද යන්න පිළිබඳ උපදෙස් ලැබෙන බවත්, හදිසියේ හෝ ශල්‍යකර්මයකට ඔහුව භාජනය කළ හොත් මාස තුනක පමණ කාලයක් වනිඳුට විවේක ගැනීමට සිදුවන බවත් සදහන්ය. එසේම ක්‍රිකට් ආරංචිමාරග සදහන් කරන්නේ වනිඳු වෙනුවට ආදේශ කළ හැකි විකල්ප දෙස ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් මේ මොහොතේ උනන්දු වන බවයි.

තවද ආබාධයකට ලක්ව ආසියානු කුසලාන තරගාවලියට සහභාගි නොවූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන ම වේගපන්දු යවන්නා වන දුෂ්මන්ත චමීර මේ වන විට යම් සුවයකට පැමිණ ඇතත්, ඔහු වේදනාවන් සම්බන්ධයෙන් පැමිණිලි කරමින් සිටින බවද වාර්තා වේ. චමීරගේ තත්ත්වය එක්සත් රාජධානියේ වෛද්‍යවරියකගේ පරීක්ෂාවට ලක් වෙමින් පවතින බවත් වැඩිදුරටත් සදහන්ය. 

මේ අතර වනිඳු හසරංග තරගාවලියෙන් ඉවත් කරන්නේ නම් ආදේශක ක්‍රීඩකයන් ලෙස, චාමික කරුණාරත්න හෝ දුෂාන් හේමන්ත යන ක්‍රීඩකයන් කණ්ඩායමට ආදේශ කරනු ඇතැයි ද පැවැසේ.