ඉන්දියාවට වටින අපිට නොවටින විශේෂඥ පන්දු විසිකරන්නා

නුවන් සෙනෙවිරත්න

National Cricket

209
මෑත ක්‍රිකට් ඉතිහාසය තුළ ඉන්දීය කණ්ඩායම යම් නොමැකෙන සටහනක් තබා ඇති බව නොරහසකි. ඊට අති ප්‍රබල ඉන්දීය පිතිකරණ බලෑණිය ද එක් හේතුවක් බවට පත්ව ඇති අතර ඉන්දීය පිතිකරුවන් වෙත මෙතරම් දස්කම් දැක්වීමට ශ්‍රී ලාංකිකයකු තම දායකත්වය සපයන බව  බොහෝ දෙනෙකු නොදන්නා කරුණකි.
ඒ අනුව පසුගියාද ජාත්‍යන්තර තරගාවලියක් නිමා වීමෙන් අනතුරුව සුපිරි පිතිකරු විරාත් කොලි ද නුවන් සෙනෙවිරත්න නම් ශ්‍රී ලාංකිකයා පිළිඹදව තම හඩ අවධි කළේය.
නුවන් සෙනෙවිරත්න විශේෂඥ පන්දු විසිකරන්නෙකු ලෙසින් ඉන්දීය කණ්ඩායමට තම සේවය සපයයි. කළක් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සමගින් ද සම්බන්ධව කටයුතු කළ නුවන් පන්දුව විසි කිරීමේදී අධි වේගයෙන් එම කටයුත්ත සිදු කරන නිසාම ඉන්දීය ජාතික කණ්ඩායමේ පුහුණු කාර්යමණ්ඩල සාමාජිකයකු ලෙස සේවයට එක්වීමට ඔහුට හැකියාව ලැබිණි.
ඒ අනුව මෙලෙස ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් සුවිශේෂී සේවයක් ඉටු කරන නුවන් සෙනෙවිරත්න ගැන යම් සොයා බැලීමක් සිදු කිරීමට අපට හැකි වූ අතර මේ ඔහු ගැන විස්තරයයි.
නුවන් සෙනෙවිරත්න තම පාසැල් කාලයෙන් අනතුරුව මැද පෙරදිග සේවය කිරීමට එක්ව තිබූ අතර එහිදි එතරම් සාර්ථකත්වයක් අත්කර නොගත් නිසා නැවතත් මව්බිමට පැමිණීමට නුවන් කටයුතු කර තිබේ.  මේ කාලයේදී ක්‍රිකට් ක්‍රීඩාවට නුවන්ගේ තිබූ ඇල්ම නිසාම කොළඹ සී.සී.සී. දෙවැනි පෙළ කණ්ඩායමට එක්වීමට ඔහුට අවස්ථාව හිමිවී තිබිණි. එහිදී පළමු පෙල තරග 2ක් ක්‍රීඩා කිරීමට නුවන්ට වාසනාව උදා වුවත් ක්‍රීඩාවෙන් ඉදිරියට යෑමට ඔහුට දෛවය ඉඩ ලබා දී තිබුණේ නැහැ.
එම නිසා ජීවත් වීම උදසා කාර්‍යාල වෑන් රථ රියදුරෙකු ලෙස කටයුතු කිරීමට ඔහුට අවස්ථාව හිමිව තිබිණි. නුවන් තමන්ගෙ වෑන් රථය ආපසු ගමන් ගන්නා කාලය එළැඹෙන තෙක් නවතා තබා ඇත්තේ කොළඹ එන්.සී.සී. ක්‍රීඩාංගණය අසල සෙවන සහිත ස්ථානයකයි.
එසේ නැවතී සිටින කාලය තුළ එන්.සී.සී. ක්‍රීඩාංගණයේ පුහුණුවීම් වල නිරත වන ශ්‍රී ලංකා  'ඒ' කණ්ඩායමේ ක්‍රීඩකයින්ගෙ පුහුණුවීම් දෙස බලා සිටීමේ අවස්ථාව ඔහුට උදා වි තිබිණි.
මේ අතර කාලය තුළ ශ්‍රී ලංකා  'ඒ' කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු වූ මනෝජ් අබේවික්‍රම සමග හිතවත් කමක් ගොඩනගා ගැනීමට නුවන්ට හැකිවි තිබූ අතර එය ඔහුගේ ජීවිතයට නව බලාපොරොත්තු එක් කිරීමට හේතු වූ බව සදහන්ය. ඒ අනුව මෙම හිතවත්කම මත  ශ්‍රී ලංකා  'ඒ' කණ්ඩායමේ පන්දු රැකීමේ  අභ්‍යාස සදහා මනෝජ් අබේවික්‍රම මහතාට සහාය දැක්වීමට නුවන්ට අවස්ථාව හිමිව තිබුණේ ඔහු මින් පෙර ක්‍රිකට් ක්‍රීඩා කර අත්දැකීම් ලබා තීබීම නිසාවෙනි.
කෙසේ වෙතත්  වැඩි කාලයක් ගත වීමට මත්තෙන් නුවන්ගේ හැකියාව ගැන  බොහෝ දෙනා කථා කිරීමට පටන් ගෙන තිබුණේ වමතින් 145kmph-150kmph වැනි අධික වේගයකින් පන්දුව මුදා හැරීමේ හැකියාව නුවන්ට තිබීම නිසාය. ඒ අනුව මෙසේ නුවන් තම දස්කම් දක්වමින් සිටියදී ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් ඔමුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එක් කර ගැනීමට කටයුතු කිරීමත් සමගින් නුවන්ගේ වෘත්තිය ගමන ආරම්භ වී තිබිණි. 
ඒ අනුව ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායමේ පන්දු රැකීමේ සහාය කාර්යමණ්ඩල සාමාජිකයකු ලෙස සේවයට එක්ව ඇති නුවන් 2016 වසරේදී  ශ්‍රී ලංකා  ජාතික කණ්ඩායමේ එංගලන්ත සංචාරයේදී පුුහුණු කාර්යමණ්ඩල සාමාජිකයකු ලෙසින් සේවයට එක්වීමට අවස්ථාව උදාකරගෙන තිබිණි. එහිදි පන්දු රැකීමේ සහාය පුහුණුකරුගේ වගකීම නුවන්ට පැවරී තිබිණි. 
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ් නිරීක්ෂණය කර තිබුණේ එංගලන්ත කණ්ඩායම තම පුහුණුවීම් සදහා Sidearm නම් උපකරණය වැඩි වශයෙන් භාවිතා කරන බවයි. මෙම උපකරණය මගින් පිතිකරණ පුහුණුවීම් වලදී පන්දුවේ වේගය, දෝලනය ,නිරවද්‍යතාව,ඉපිලීම වැනිදේ ඉතාමත්ම නිවැරදිව සිදුවන බවත් ඔහුට අවබෝධ වීම නිසා නුවන් සෙනෙවිරත්න විශේෂඥ පන්දු විසිකරන්නෙකු ලෙස (Throw Down Specialist ) සේවයට එක් කර ගැනීමට ග්‍රැහැම් ෆෝඩ්  කටයුතු කර තිබිණි. 
අතිෂය කැපවීමෙන් පැය ගනන් තම සේවය පිතිකරුවන්ට ලබා දුන්න ද අධි වේගයෙන් පැමිණෙන නුවන් යොමු කරන පන්දුවට මුහුණදීමට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ එවකට නමගිය පිතිකරුවන් පවා මැලිවූ බවද දැනගන්නට තිබේ. එසේම බොහෝ පිතිකරුවන්ට නුවන්ගේ පන්දුව හදුනා ගැනීමටත් අධික වේගය නිසා ඊට පහරදීමට නොහැකි වීමත් නිසා පන්දුව ඇගේ වැදීමෙන් එවකට සිටි බොහෝ පිතිකරුවන්ට නුවන් දැඩි හිසරදයක් බවට පත්ව තිබිණි. ඒ අනුව ඔවුන්, නුවන්ගේ පුහුණු සැසි මගහැරීමට පවා කටයුතු කර තිබූ බවද සදහන්ය. 
එසේ වුවත්කු මාර් සංගක්කාර, මහේල ජයවර්ධන වැනි පිතිකරුවන් නුවන්ගේ උපරිම සේවය ලබා ගත් බවද දැනගන්නට තිබේ. 
එසේ වුවත් 2017 වසරේදී එවකට ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධන පුහුණුකරු සමගින් යම් මතගැටුමක් ඇතිකරගන්නා නුවන්ට තම රැකියාව අහිමිව යෑම දක්වා එය දුරදිග ගිය බව පැවැසේ. ඊට ඇතැම් ක්‍රීඩකයින් ද සහාය පලකර තිබුණේ නුවන්ගේ පුහුණු සැසි අතරතුර ඔවුන් දැඩි ලෙස පීඩාවට පත්වන නිසාවෙනි. එසේම මෙතරම් සේවයක් සළසද්දී ඔහුට හරිහමන් වැටුපක් ගෙවීමට පවා ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් කටයුතු කර නොතිබීමද කණගාටුවට කරුණකි. 
මේ අතර නුවන් සතු විස්මිත හැකියාව ගැන ඉන්දීය ක්‍රිකට් බලධාරීන් කාලාන්තරයක පටන් අවධානයෙන් පසුවීමේ ප්‍රතිඵලයක් ලෙස 2018 වසරේදී ඉන්දීය ජාතික කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කළ සංජේ බංගා නුවන් අමතමින් සුවිශාල වැටුපක් ද සමගින් ඉන්දීය කණ්ඩායම සමගින් කටයුතු කිරීමට ආරාධනා කර තිබේ. ඒ අනුව තමන්ට පීඩා කළ ශ්‍රී ලංකාව අතහැර 2018 වසරේදී ඉන්දීය ජාතික කණ්ඩායමේ පුහුණු කාර්යමණ්ඩල සාමාජිකයකු ලෙස සේවයට එක්වීමට නුවන් තීරණය කර තිබිණි. 
විරාට් කෝල්,මහේන්ද්‍ර සිං දෝනි,රෝහිත් ශර්මා,කේ.එල්.‍රාහුල්,චේතේශ්වර් පුජාරා,සුරේශ් රෙයිනා,රවීන්ද්‍ර ජඩේජා  වැනි සුපිරි පිතිකරුවන් වෙත පන්දුව විසි කිරීමට නුවන්ට සිදුව ඇති අතර  කළක් වමත් වේගපන්දු යවන්නන් හමුවේ අන්ත අසරණ වූ කෝලි ඇතුළු ඉන්දීය පිතිකරුවන් තම දුර්වලතා මගහැරගැනීමේ මූලිකම සාධකය නුවන් බවට පත්ව තිබුණේ නිරායාසයෙනි. 
එසේම නුවන් සෙනෙවිරත්න නිසාම වමත් පන්දු යවන්නන්ට මෙන්ම අධික වේගවත් පන්දු යවන්නන්ට ද දැඩි විශ්වාසයකින් මුහුණදීමට ඉන්දීය පිතිකරුවන්ට හැකියාව ලැබී ඇති බවද නොරහසකි. 
ඒ අනුව අවසානයේදී පැවැසිය යුතුව ඇත්තේ පුද්ගලික කෝන්තර පිරිමසා ගැනීමත් මිනිසුන්ගේ දක්ෂතාවන්ට නිසි තක්සේරුවක් සහ වටිනාකමක් ලබා නොදීම නිසාම තවත් අති දක්ෂයකුගේ සේවය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට මෙලෙස අහිමිව ගිය බවයි.