නිලවරණය කඩාකප්පල් කර යළි ජාත්‍යන්තර තහනමකට පිරිසක් අර අදිනවා

හිටපු පාපන්දු සභාපති ජස්වර් උමාර්

National Football

353

ශ්‍රී ලංකා පාපන්දු නිලවරණය සාධාරණ ලෙස පැවැත්වීම සඳහා සියලු විධි විධාන යොදා තිබියදී  සුළු පිරිසක් විසින්   එය වළක්වා මෙරට පාපන්දු ක්‍රීඩාව යළි තහනමකට ලක් කිරීමේ කුමන්ත්‍රණයක් දැන් ක්‍රියාත්මක කරමින් පවතින බව ශ්‍රී  ලංකා පාපන්දු සම්මේලනයේ  හිටපු සභාපති ජස්වර් උමාර් මහතා කොළඹ දී සැප්තැම්බර් (01 වැනිදා )  පැවති මාධ්‍ය හමුවක දී සඳහන් කළේය.

එම මාධ්‍ය හමුව සඳහා ජස්වර් උමාර් පාර්ශවයෙන් උප සභාපති ධූර අපේක්ෂකයෙකු ලෙස තරග කරන දොස්තර  මනිල්  ප්‍රනාන්දු සහ අනුරාධපුර ලීගයේ හිටපු සභාපති සාගර පියතිලක මහතා ද එක්ව සිටියහ.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණ ලබන 29 වැනිදා පැවැත්වීමට නියමිත අතර  මාස 7 කට වැඩි කාලයක් ජාත්‍යන්තර  පාපන්දු සම්මේලනය ශ්‍රී ලංකාවට තහනමක් පනවා තිබුණි.

අනතුරුව ශ්‍රී ලංකා පාපන්දු පරිපාලනය යළි යථා තත්ත්වයට පත් කිරීම සඳහා විශ්‍රාම ලත් මහාධිකරණ විනිසුරුවන් දෙදෙනකු සහ විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයෙකු    ඇතුළත්  ත්‍රිපුද්ගල ස්වාධීන පුද්ගල නිලවරණ කමිටුවක් මගින්  නාමයෝජනා කැඳවා අදාල නිලවරණය පැවැත්වීමට  විධිවිධාන යොදා ඇත.

තත්ත්වය  එසේ තිබියදී  නාමයෝජනා ප්‍රතික්ෂේප වූ පිරිසක් සහ අරගලකරුවන් යයි හඳුන්වා ගන්නා පිරිසක් පාපන්දු නිලවරණයට එරෙහිව විවිධ චෝදනා නගමින් මහජන විරෝධයක් ගොඩ නගා පාපන්දු නිලවරණය කඩාකප්පල් කිරීමට කටයුතු කරන බවද හිටපු සභාපති ජස්වර් උමාර් මහතා එහිදී කීය. 

වසර සියයකට  ආසන්න ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව තනතුරු අපේක්ෂාවන් සහ විවිධ ලාභ ප්‍රයෝජන අපේක්ෂාවෙන් විනාශ නොකරන ලෙස පාපන්දු ප්‍රතිවාදීන් ගෙන්  ඉල්ලා සිටින බවද ජස්වර් උමාර් මහතා එහිදී පැවසීය.

 තව දුරටත් අදහස් දැක්වූ ජස්වර් උමාර් මහතා, "සුළු පිරිසක් පාපන්දු ක්‍රීඩාව යළි වලපල්ලට යැවීමේ කුමන්ත්‍රණයක නිරත වෙලා තිබෙනවා.ඔවුන් ගේ වුවමනාව යළි තහනමක් පනවා ගැනීමයි.අපේ රටේ නැවත කුලල් කා ගන්නවා කියන එක ලෝකයට පෙන්නන්න ඔවුන් උත්සාහ කරනවා.10 දෙනෙක්ගේ කල්ලියක් මේ පිටුපස ඉන්නවා.ඒ වගේම පසුගිය පසුගියදා අරගල භූමියේ සිටි ප්‍රධානියෙක් මගෙන් කප්පම් ඉල්ලනවා.ජන්දය දිනවලා දෙන්න ලක්ෂ 30 ක බජට් එකක් දුන්නා.මම ඒවා ප්‍රතික්ෂේප කළා.ඊට පස්සේ ලක්ෂ 30 ලක්ෂ 6 ට කරමු කිව්වා.ඊට පස්සේ හදිස්සියක් කියලා රුපියල් 20,000 ක් එයාගේ බැංකු ගිණුමට  දාන්න කියලා කිව්වා.බිරිඳගේ වාණිජ බැංකුවක ගිණුම් අංකයකුත්  මට එවලා තිබුණා.මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යනවා.ඒ වගේම නීති උපදෙස් බලාපොරොත්තු වෙනවා. පාපන්දු  සම්මේලනයේ   දූෂණ වංචා ඉවර කරන්න පළමු පියවර තැබූ පුද්ගලයා තමයි මම.මම ගෙනාපු ව්‍යවස්තාව මගේ මුදල් බලතල පවා මම කප්පාදු කර ගෙන තිබෙනවා.ඒවා  කළේ විනිවිදභාවයෙන් යුතුව වැඩ කරන්න ඕනා නිසයි."

පාපන්දු උප සභාපති ධූර අපේක්ෂක මනිල් ප්‍රනාන්දු මහතා "අපි කවුරුත් දන්නවා මේ පාපන්දු තහනමෙන් මිදෙන්න අපි කළ කැප කිරීම්.අපි යළි බලයට එන්නෙ  ඉදිරි වසර හතර තුළ පාපන්දුවට සේවය කිරීමටයි.පහුගිය කුණු අවුස්සන්න අපට වෙලාවක් නැහැ.අපි බලන්නෙ මේ ක්‍රීඩාව සහ ක්‍රීඩකයන් වෙනුවෙන්  ඉදිරියට කරන්න පුළුවන් පුලුවන් මොනවද කියලයි.ලීග තුනෙන් දෙකකටත් වැඩි බලය අපට තිබෙනවා.ලීග සංඛ්‍යාව  ලෙස ගත්තොත් 58ක්.ඒත් ප්‍රතිවාදී පාර්ශවයට නාමයෝජනා දෙන්නවත් පිරිස් සොයා ගන්න බැරි වුණා."