ශ්‍රී ලංකාව ආසියානු කුසලානයේ පළමු ජය ලබයි

බංග්ලාදේශයට එරෙහිව මතීෂ, සධීර සහ අසලංකගෙන් විශිෂ්ඨ දස්කම්

International Cricket

338

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු ජය වාර්තා කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබිණි. 

ඒ අනුව බංග්ලාදේශය කඩුලු 05කින් පරාජයට පත් කරමින් මෙවර ආසියානු කුසලානයට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට දසුන් ඇතුළු කණ්ඩායම සමත් වීම කැපී පෙනිණි. 

මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැති මෙම  තරගයේ කාසියේ වාසිය ජය බංග්ලාදේශ නායක ශකීබ් අල් හසන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. 

එහෙත් සිතූ තරම් ඉනිම සාර්ථක කරගන්නට බංග්ලාදේශ පිතිකරුවන්ට අවස්ථාවක් නොදෙන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වූ අතර පන්දුවාර 50 අවසාන වීමටත් පෙර බංග්ලාදේශ ඉනිම ලකුණු 164කට සීමා කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය. 

එහිදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ මතීෂ පතිරණ ලකුණු 32කට කඩුලු 04ක් බිඳ දැමූ අතර මහීෂ් තීක්ෂණ කඩුලු 02ක් සහ ධනංජය ද සිල්වා, දසුන් ශානක සහ දුනිත් වෙල්ලාලගේ එක් කඩුල්ල බැගින් දවාගත්තා.

බංග්ලාදේශ ඉනිමේ එකම නැංගූරම බවට පත්වූ නජ්මුල් හුසේන් ශැන්ටෝ ලකුණු 89ක් ලබා ගනිමින් දස්කම් දැක්වීය. 

කෙසේවෙතත් ඉතා පහසු ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ පිතිකරණයේ දියාරු වීම යළි යළිත් දක්නට ලැබිණි. 

පැතුම් නිස්සංක ලකුණු 14කට ද, දිමුත් එක් ලකුණකට ද, කුසල් මෙන්ඩිස් ලකුණු 05කට ද යළිත් ක්‍රීඩාගාරය වෙත ගියේ දැඩි පීඩනයකට කණ්ඩායම නතු කරමිනි. 

කණ්ඩායම ජයග්‍රහනය වෙත ඔසවා තැබූ සදීර සමරවික්‍රම සිය එක්දින පිටියේ සිව්වැනි අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 54ක් රැස් කළා.

අසලංක ද සිය එක්දින දිවියේ 09 වැනි අර්ධ ශතකය ලබා ගත්තේ එය නොදැවී ලකුණු 62ක් බවට පත් කරගනිමින්.

ඊට දැවැන්ත එක් හයේ පහරක් සමගින් හතරේ පහර 05ක් ඇතුළත් විය. 

නායක දසුන් නොදැවී ලකුණු 14ක් ලබාගත්තා.

ශ්‍රී ලංකාව සහභාගී වන දෙවැනි තරගය එළඹෙන 05 වැනි දින ඇෆ්ගනිස්තානයට එරෙහිව ලාහෝරයේ දී පැවැතවීමට නියමිතය.