දැනගෙන ගියොත් කතරගම - නොදැන ගියොත් අතරමග

ක්‍රිකට් ගැන සියලු දේ දත් පුද්ගලයන් මෙන් බෙරිහන් දෙන මහත්වරුන්ට කරනා කාරුණික මතක් කිරීමකි

National Cricket

85

ක්‍රිකට් යනු තාක්ෂණික විෂයක් බැවින් ඒ පිළිබඳව කතා කිරීමේදී ප්‍රවේශම් විය යුත්තේ වාචාලකම විසින් තාක්ෂණය පරාජය කළ නොහැකි නිසාය.

1. බොහෝ දෙනා මේ කතා කරන්නේ සම්පූර්ණ නොවූ විගණන වාර්තාවකට අදාළ කෙටුම්පතක් බදාගෙනය. ඒ කෙටූම්පතෙනුත් කෑල්ලක් අල්ලාගෙනය.

2. ඒ අනුසාරයෙන් කතා කළ බොහෝ දෙනා පැවසුවේ ක්‍රිකට් දැන් දූෂිතයි ටීම් එක ෆේල් ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕන ඒ නිසා ක්‍රිකට් පරිපාලනය වෙනසක් ඕන . සමහරුන් නොකියා කීවේ ඉන්ටරිම් එකක් දාන්න ඕන කියාය . 

3. 2020 වසරට පෙර වර්ෂ කිහිපයක්ම අයිසීසී යෙන් ණයට මුදල් ගෙන නඩත්තු කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද වනවිට නවසීලන්ත ක්‍රිකට් ආයතනයටත් වඩා ස්ථිර තැන්පත් මුදලක් ඇති ක්‍රිකට් ආයතනයක් බවට පත්කොට ඇත. ඊට අමතරව පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල , එම පදක්කමක් ලැබූ ක්‍රීඩකයින්ට , දැල්පන්දු කණ්ඩායමට වැනි වෙනත් ක්‍රීඩා සදහාත් ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩා අමාත්‍යංශයට පසුගිය වසර දෙක තුළදී රුපියල් මිලියන 500 කට ආසන්න මුදලක් ලබාදී ඇත .

එල්පීඑල් ක්‍රිකට් තරගාවලියේ ආදායමෙන් මිලියන 100ක් කොළඹ ළමා රෝහලට මෑතකදී පරිත්‍යාග කළේය. කොවිඩ් වසංගත සමයේ ආර්ථිකය කඩා වැටුණු මොහොතේ රටට ක්‍රිකට් කණ්ඩායම් ගෙන්වා තරගාවලි පවත්වා  අපේ රටට ඩොලර් මිලියන ගණනින් සොයා දුන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පමණි. මෙකී දේ කළේ වත්මන් පරිපාලනය යටතේ  නොවේද ?

4. අනෙක අපිට ක්‍රිකට් ලෝක කුසලානය සදහා සුදුසුකම් ලැබීමේ තරගාවලියක් ක්‍රීඩා කිරිමට සිදුවීම මහා දුර්වල කමක් ලෙස හුවා දක්වන්නට බොහෝ දෙනෙක් කට දොඩවයි. 1996 ලෝක කුසලානය දිනූ ශ්‍රී ලංකාවට 1999 දීද මෙවර මෙන් සුදුසුකම් ලැබීමේ තරගාවලියක් සදහා යාමට ඉඩ තිබුණි .නමුත් එදා එසේ සිදු නොවුනේ කණ්ඩායම් 12ක් කෙළින්ම තෝරාගත් නිසාය . එහෙත් මෙවර සුදුසුකම් ලත් කණ්ඩායම් 2ත් සමග සහභාගි වන මුළු කණ්ඩායම් ගණන 10කි. තවද සිම්බාබ්වේ පැවති එම සුදුසුකම් ලැබීමේ තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායම ශ්‍රී ලංකාව පමණි . 1975, 1979 ආරම්භක ලෝක කුසලාන දෙකෙහිම ශූරයන් වූ කොදෙව් කණ්ඩායම පවා මෙවර ලෝක කුසලානයෙන් එළියට විසිවී  ඇත . අපි වත්මන් ආසියානු ක්‍රිකට් ශූරයන් බවද බොහෝ දෙනාට අමතක වී ඇත .

5. 1996 ලෝක කුසලානය දිනාගැනීමෙන් පසුව එම දැවැන්ත ජයග්‍රහණය පිටුපස සිට ප්‍රබලතම චරිතය වූ එවකට ක්‍රිකට් සභාපතිවරයා ජයග්‍රහණය සමරන්නටත් පෙර ගෙදර යැව්වේ කවුද ?  එලෙසම එම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සහ තවත් ක්‍රීඩකයින් දෙදෙනකු කණ්ඩායමෙන් එළවන්නට කුමන්ත්‍රණ කළේ කවුද ? අනවශ්‍ය මොහොතක කරනා මෙම උසිගැන්වීම පිටුපස ඉන්නේත් ඒ පිරිසම බව ඔය කෑගහන බොහෝ දෙනෙක් නොදන්නවා වන්නට පුළුවන.

6. අනවශ්‍ය මොහොතක කරනා මෙම උසිගැන්වීම යනුවෙන් මා සදහන් කළේ හේතුවක් ඇතිවය. එනම් මාගේ මාධ්‍ය ජීවිතයේ දශක 3කට වැඩි අත්දැකීම් අනුව  හැමදාමත් වර්ල්ඩ් කප් එකක් එන්නට මාසයකට පමණ පෙර මෙවැනි බෝම්බ අල්ලපු රටකින් හෙළනු ලබයි . මෙය අලුත් දෙයක් නොවේ. නමුත් අවාසනාවකට කරුණ බොහෝ දේ දන්නා මෙන් කතා කරනා දේශපාලකයන්ට මෙය තේරුම් ගන්නට නොහැකි වීමයි . ක්‍රිකට් ආයතනය පිළිබඳව  පැවති වාදයට පෙර දින රාත්‍රියේ වතුර අද්දර හෝටලයක සාධයක් සංවිධානය කර තිබුණි . එම සාධයෙන් පසුව පසුදා වාදයට පැමිණ සමහරුන් කරුණු දැක්වූ ආකාරයෙන්ම එම සාධය සංවිධානය කළේ කවුරුන් දැයි තේරුම් ගන්නට අපහසු නැත. ආරාධිතයින් සියලු දෙනා ඊට සහභාගි වී නැත. සමහරුන් යන්නට ඇත්තේ මෙකී කුමන්ත්‍රණ ගැන අවබෝධයක් නැතිකම නිසා හෝ වෙනත් වාසියක් නිසා වන්නට පුළුවන.

7.තවත් බොහෝ දේ කියන්නට ඇත .එහෙත්  කියවන්නට කාලය වැය වන නිසා කෙටි කරමි. ඇත්ත ක්‍රීඩා නීතිය වර්තමානයට ගැලපෙන පරිදි වෙනස් කළයුතුමය. ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කළ යුතුයි . ක්‍රිකට් ඡන්ද ක්‍රමය වෙනස් කළ යුතුයි . එහෙත් අවවාදයට පෙර ආදර්ශය උතුම්ය . ඒ නිසා මේ රටම මජර ජරා ජීර්ණ තත්ත්වයට පත්කළ රටේම ඡන්ද ක්‍රමය  වෙනස් කිරීමට    මේ කතා කරන මහත්වරුන්  ක්‍රිකට් වලට තරම් මහන්සි නොවීම පුදුම සහගතය. වර්තමානයේදී වැහැරී යන තම ජනප්‍රියත්වය යළි ලබා ගැනීමට ක්‍රිකට් වල එල්ලෙනවාට වඩා එය කාලෝචිතය.

සමහරුන්ට මෙය කඩේ යාමක් යැයි සිතිය හැකිය . එහෙත් කමක් නැත .හේතුව අවශ්‍ය යහපත් දේකට කඩේ යාම වරදක් නැත .

අවසන් වශයෙන් කිවයුත්තේ අපේ රටේ දෙවැනි ආගම වන ක්‍රිකට් ක්‍රීඩාවේ වෙනසක් කිරිමට මෙය කාලය නොවේ. වෙනසක් කළහොත් ක්‍රීඩකයින්ටත් රටටත් එය දැඩි ලෙස බලපාන බව වගකිව යුතු කවුරුත් සිහි තබා ගත යුතුය .


සිරිනාම රාජපක්ෂ 

හිටපු ක්‍රීඩා කර්තෘ - මව්බිම

හිටපු ප්‍රධාන ලේකම් , ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ සංගමය .

  • TAGS