තිලංග දක්ෂිත සුමතිපාලගේ පාපන්දු සභාපති නාමයෝජනාව ඇතුළු නාමයෝජනා 05ක් ප්‍රතික්ෂේප වෙයි

2023 ශ්‍රී ලංකා පාපන්දු නිලවරණය

National Football

499

2023 ශ්‍රී ලංකා පාපන්දු නිලවරණයේ සභාපති ධුරයට නාමයෝජනා භාරදුන් අනුරාධපුර දිස්ත්‍රික් පාපන්දු සංගමයේ සභාපති තිලංග දක්ෂිත සුමතිපාල මහතාගේ හා එම පාර්ශ්වයේ තවත් නාමයෝජනා 04ක් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.

පාපන්දු නිලවරණ කමිටුව දක්ෂිත මහතාගේ පාර්ෂවයේ නාමයෝජනා 08 පමණක් අනුමත කර ඇත.

කෙසේ වුවත්  නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් සැප්තැම්බර් 03 වැනිදාට පෙර අභියාචනා ඉදිරිපත් කිරීමට නිලවරණ කමිටුව මගින් අදාළ අපේක්ෂකයන්ට අවස්ථාව සළසා දී තිබේ.

සභාපති තනතුරට නාමයෝජනා ලබාදුන් තිලංග දක්ෂිත සුමතිපාල, උපසභාපති තනතුරට නාමයෝජනා දුන් ටී.එල්. උඩුවර (වත්තල ලීගය), විධායක සභික තනතුරට ඉදිරිපත් වූ නාලක දිසානායක (ශ්‍රී ලංකා පාසල්), නිහාල් පෙරේරා (වත්තල ලීගය) හා විධායක සභාවේ කාන්තා නියෝජනයට ඉදිරිපත් වූ හේෂිණී ආරියරත්න (දෙනියාය ලීගය) යන නාමයෝජනා ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මෙම නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට හේතුව අනුබද්ධිත පාපන්දු ලීග්වල වසර 04ක ක්‍රියාකාරීත්වයක් නොමැති බව තහවුරු වීම බවද වාර්තා වේ.

දක්ෂිත මහතාගේ පාර්ශ්වයේ අභියාචනාද ප්‍රතික්ෂේප වුවහොත් හිටපු සභාපති ජස්වර් උමර් මහතා නිතරගයෙන් සභාපති තනතුරට පත්වන අතර අනෙක් ප්‍රධාන තනතුරු 04ට ද නිතරග අවස්ථා හිමි වීමද විශේෂත්වයකි.

කෙසේ වෙතත් නිලවරණ කමිටුව හිටපු සභාපති ජස්වර් උමර් මහතාගේ නාමයෝජනා 13ම අනුමත කිරීම සුවිශේෂිය.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන නිලවරණ කමිටුවේ සභාපති ලෙස විශ්‍රාමික විනිසුරු යූ. එල්. අබ්දුල් මජීඩ් මහතා කටයුතු කරන අතර, සාමාජිකයින් ලෙස විශ්‍රාමික විනිසුරු බන්දුල කේ. අතපත්තු සහ විශ්‍රාමික මේජර් ජෙනරාල් උපාලි ගුණසේකර යන මහත්වරු කටයුතු කරනවා.