ශ්‍රී ලංකා පන්දු යැවීමේ බලෑණිය ගැන ලසිත් මාලිංග අදහස් දක්වයි.

ලෝක කුසලානයේ සිටින කණ්ඩායම් අතුරින් ශක්තිමත්ම පන්දු යැවීමේ බලෑණිය ශ්‍රී ලංකාව සතුයි.

International Cricket

26

මෙවර විස්සයි-20 ලෝක කුසලානයට එක්ව සිටින කණ්ඩායම් අතුරින් ශක්තිමත්ම පන්දු යැවීමේ බලෑණිය ශ්‍රී ලංකාව සතු බව හිටපු නායක ලසිත් මාලිංග පවසා තිබේ. 

ලෝක කුසලානයත් ඊට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමත් සම්බන්ධයෙන් විදෙස් ක්‍රීඩා වෙබ් අඩෙවියක් වෙත අදහස් දක්වමින් ලසිත් මාලිංග මේ පිළිබද අදහස් පලකර තිබේ. එහිදී තවදුරටත් කරුණු දක්වා තිබූ ශ්‍රී ලංකා හිටපු නායකයා, ‘විස්සයි-20 තරග රටාව තුළ බොහෝ අවස්ථා වල දී පන්දු යවන්නන් උත්සාහ කරන්නේ ‘යෝකර්’ පන්දු යැවීමටයි. එමගින් පමණයි හයේ පහරක් හෝ හතරේ පහරක් නවතා ගත හැකි වන්නේ. ඒ අනුව එලෙස ඕනෑම අවස්ථාවක යෝකර් පන්දු යොමු කළ හැකි නුවන් තුෂාර සහ මතීෂ පතිරණ යන තුරුම්පු දෙකම ශ්‍රී ලංකාව සතුයි. එය අද්විතීයයි. එවන් සම්පත් දෙකක් එකම කණ්ඩායමක මම දකින්නේ ජීවිතයේ පළමු වරටයි. ඒ අනුව මෙවර ලෝක කුසලානයේ හොඳම පන්දු යැවීමේ බලෑණිය ශ්‍රී ලංකාව සතුයි.’ 

එසේම පිතිකරණ බලෑණිය තුළ ද අත්දැකීම් සහිත ක්‍රීඩකයින් මෙන්ම තරුණ සහ ජවසම්පන්න පිතිකරුවන් රැසක් ශ්‍රී ලංකා කණ්ඩායම සතු වන බව ද මාලිංග මෙහි දී පවසා තිබිණි.