ක්ලිෆර්ඩ් කුසලාන අන්තර් සමාජ රග්බි තරගාවලිය 2024

සී.එච්, හැව්ලොක්ස් සහ සී.ආර්. රග්බි අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි.

Club Rugby

24

ශ්‍රී ලංකා රග්බී පාපන්දු සම්මේලනය විසින් මෙහෙයවනු ලබන ‘ක්ලිෆර්ඩ් අභියෝග කුසලාන’ අන්තර් සමාජ පිළිමළුන් පිටු දැකීමේ රග්බී පාපන්දු තරගාවලියේ තීරණාත්මක අවසන් පූර්ව වටයට සී.එච්. ඇන්ඩ් එෆ්.සී., පොලිසිය, හැව්ලොක්ස් සමාජය සහ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. සමාජය අවස්ථාව හිමි කර ගත්තේය.
ඒ අනුව පෙළ ගස්වා ඇති අවසන් පූර්ව වටයේ දී සී.ආර්. පිලට එරෙහිව පොලිසිය හෙට (05) තරග වදින අතර බදාදා (06) හැව්ලොක්ස් පිලට එරෙහිව සී.එච්. පිල සටන් කිරීමට නියමිතය. මෙවර ලීග් ශූරතාව දිනා ගැනීමට සමත් වූ සී.ආර්. පිල සටනකින් තොරව අවසන් පූර්ව වටයට වරම් ලබා ගත් අතර ගුවන් හමුදාව ලකුණු 02 ක පරතරයකින් පරාජය කිරීමට පොලිසියට හැකියාව ලැබිණි. මේ අතර වාරයේ දීනාවික හමුදාවට එරෙහිව ලකුණු 55 - 05 ක පහසු ජයග්‍රහණයක මිහිර අත්විඳීමට හැව්ලොක්ස් පිල සමත් විය. ගෝල් දිනුම් 05 සහ උත්සාහක දිනුම් 04 ක් මගින් ලකුණු පුවරුව ඉහළ නංවා ගැනීමට හැව්ලොක්ස් පිලට හැකි විය. අස්මීර් ෆාජුඩින්, දිනූප සෙනෙවිරත්න, ජයතු රාජරත්න, මොහොමඩ් රිෆාන්,  ගනිඳු ලක්ෂාන්, ඔලිවර් බක්ලේ, සෙනාල්  දීලක සිල්වා, උදාර ජයපාල සහ රවීන් ප්‍රනාන්දු උත්සාහක දිනුම බැගින් වාර්තා කළහ.  එහි ප්‍රවර්තන 04 ක්  ජනිත් චන්දිමාල් ගේ පාදයෙන් සාර්ථක වන අතර වාරයේදී එක් ප්‍රවර්තනයක් ප්‍රතිවාදී ගෝල් කණු අතරෙන් යොමු කිරීමට සංදේශ් ජයවික්‍රම ට හැකි විය.
නාවික හමුදාව වෙනුවෙන් සටහන් වූ එකම උත්සාහක දිනුම ස්ටෙෆාන් ග්‍රෙගරි ලබා ගත්තේය.
සෙනසුරාදා (01) පැවති සිව් වැනි අර්ධ අවසාන පූර්ව තරගයේ දී යුද හමුදාවෙන් එල්ල වූ අභියෝගයට අසීරුවෙන් මුහුණ දෙමින් ලකුණු 35 - 27 ක  ජයග්‍රහණයක් වාර්තා කර ගැනීමට සී එච් ක්‍රීඩකයින්ට හැකි විය.
ප්‍රථම භාගය නිමා වන විට ලකුණු 15 - 12 ක් ලෙස පෙරමුණ ගැනීමට සී.එච්. පිල ට හැකි විය. දෙපිලේ ක්‍රීඩකයින්ගේ සටන්කාමීත්වය හේතුවෙන් තරගයේ උණුසුම වඩාත් වැඩි වීමද කැපී පෙනෙන විශේෂ්ත්වයක් බවට පත් විය.
සී. එච්. පිල  දඬුවම් ගෝලයක් සහ උත්සාහක දිනුම් 05 ක් සමගින් දඩුවම් පහරක් සාර්ථක ගැනීමට සමත් වූ අතර   පරාජිත යුද හමුදාව ගෝල් දිනුම් 02  උත්සාහක දිනුම් 02 සහ එක් දඩුවම් පහරක් මගින් තම ලකුණු පුවරුව වර්ණවත් කලේය. දිනේෂ් ලක්ෂාන්, චතුමිණ රාජසිංහ,  නිරෝෂ් පෙරේරා, තීක්ෂණ දසනායක,  දුෂ්මන්ත ප්‍රියදර්ශන සී.එච්. පිල වෙනුවෙන් උත්සාහක දිනුම බැගින් සටහන් කළ අතර හිරුෂ නෙත්මිණ දඬුවම් පහර සාර්ථක කර ගත්තේය.
යුද හමුදාව වෙනුවෙන් කැපී පෙණුනු ලසන්ත කුමාර (02) ජනිත් ප්‍රේමජයන්ත (01) සහ  සුධාරක දික්කුඹුර (01) බැගින් දිනුම් සටහන් කළ අතර දඬුවම් පහරක් සහ ප්‍රවර්තන 02 ක් ප්‍රතිවාදී ගෝල් කණු අතරින් යොමු කිරීමට  අශාන් බණ්ඩාරට හැකියාව ලැබුනි.