පිතිකරණ දස්කම් ජයග්‍රහණයට පාර තැනුවා-සධීර සමරවික්‍රම

ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු T20I තරගය පිලිබදව මාධ්‍යයට දැක්වූ අදහස්.

International Cricket

21918

බංග්ලාදේශ කණ්ඩායම සමඟින් පැවැති පළමු 20යි-20 තරගය ජයග්‍රහණයට පිතිකරුවන් ලබා දුන් දායකත්වය වඩාත් හේතු වූ බව ශී‍්‍ර ලංකා කණ්ඩායමේ මැදපෙල පිතිකරු සධීර සමරවික‍්‍රම පැවැසීය. සධීර මෙම අදහස් පළකර සිටියේය. බංග්ලාදේශය සමඟින් පැවැත්වෙන 20යි - 20 තරගාවලියේ පළමු තරගය ජය ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු එසේ ප්‍රකාශ කලේය . තවදුරටත් මෙසේ ද අදහස් දැක්වූ සධීර ‘‘මෙවන් තණතීරුවක පිතිකරුවන් කී‍්‍රඩා කළ ආකාරය ගැන මම සතුටු වෙනවා. එසේම මෙම තරගය ජයගැනීම සදහා ප‍්‍රධාන වශයෙන් හේතු වුණේ පිතිකරුවන්ගේ දායකත්වයයි. එපමණක් නොව පින්න නිසා කෙතරම් අසීරුවෙන් පන්දු යැවුවත්, පිතිකරුවන්ගේ දායකත්වයෙන් ලකුණු පුවරුවේ විශාල ලකුණු සංඛ්‍යාවක් තිබීම නිසා අවසානයේදී තරගය ජයගත හැකි වුණා.’’ ලෙසින් ප්‍රකාශ කලේය.
මතීෂ පතිරණ සම්බන්ධයෙන්  යොමු වූ පැනයකට මෙසේ පිළිතුරු ලබාදුන් සධීර ‘‘එම අවස්ථාවේදී පැවැති දැඩි පින්න නිසා මතීෂ පමණක් නොව කණ්ඩායමේ පන්දු යවන්නන් සියලූදෙනා දැඩි අපහසුතාවයකට පත් වුණා. එපමණක් නොව ඒ අවස්ථාවේදී පන්දු රකින්නන් ද දැඩි අසීරුතාවයකට පත් වුණා. මේ අතරවාරයේ මතීෂ පාදයේ ආබාධයකටත් ගොදුරු වුණා. කෙසේ වෙතත් මෙහිදී ඇතිවූ තත්ත්වය ඉතාමත් අවාසනාවන්ත බව මම විශ්වාස කරනවා.’’ යනුවෙන් පැවැසීය.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා පිතිකරණ ලැයිස්තුවේ කිසියම් විශේෂ දියුණුවක් පෙනෙන්නට තිබීම පිළිබඳව ද අදහස් දක්වමින් සධීර පැවැසූවේ මෙවැන්නකි. ‘‘කණ්ඩායමේ සියලූදෙනා තරගයේ සැළසුම ගැන නිසි අවබෝධයකින් කි‍්‍රයා කරනවා. එසේම එක් එක් ක්‍රීඩකයාට කණ්ඩායමේ පවරා ඇති වගකීම නිසි අවධානය යොමු කරමින් ඉටු කරන බවත් මට පෙනී යනවා. ඇත්තටම ලෝක කුසලානයකට යද්දී එය ඉතාමත් හොඳ ලකුණක්. එසේම මින් පෙර තිබුණාට වඩා පිතිකරවැන් කණ්ඩායමට දෙන දායකත්වයත් එක් එක් තත්ත්වයන්ට අනුකූලව ඊට හැඩගැසෙමින් කණ්ඩායමට දායකත්වය ලබා දීම ගැනත් සතුටු වෙනවා.’’
ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පිතිකරුවන්ගේ දායකත්වය පිලිබදව ද මෙසේ ද අදහස් දැක්වූ සධීර ‘‘කණ්ඩායමේ පිතිකරුවන් සාර්ථක ආරම්භයක් ලඟා කර ගත්තා. ඉන් අනතුරුව එය දීරඝ ඉනිමක් කරා රැගෙන යෑමට ඔවුන්ට හැකි වීම මෙම තරගයේදී තීරණාත්මක සාධකය වූ බව මම සිතනවා. විශේෂයෙන් කුසල් මෙන්ඩිස් සහ කමිදු හොඳ ආරම්භයක් ලබා දුන්හ. ඉන් අනතුරුව කුසල් සහ මමත් එක්ව උත්සාහ කළේ එම රිද්මය පවත්වාගෙන යෑමටයි. කෙසේ වෙතත් ඉනිමේ අවසන් භාගයේදී චරිත් අසලංක ලැබෙන සෑම පන්දුවකටම විශාල පහරවල් එල්ල කරමින් ලකුණු රැස්කළා. ඒ අනුව සමස්තයක් ලෙස ගත් කළ පිතිකරණ බලෑණියම විශිෂ්ට ලෙස ක්‍රීඩ කිරීම ගැන සතුටු වෙනවා.’’
කෙසේ වෙතත් එක් අවස්ථාවක බංග්ලාදේශය ජයග‍්‍රහණයට ඉතාමත් ආසන්නයේ සිටියත්, දසුන් යැවූ අවසන් පන්දුවාරයේදී ශ්‍රී ලංකාවට ජයග‍්‍රහණය හිමි වූ බවද පැවැසූ සධීර ‘‘මහමුදුල්ලා ලබා දුන් උඩපන්දුව මාගේ අතින් ගිළිහී ගිය අවස්ථාවේදී මම සිතුවේ තරගය අපගෙන් ඈත්වන බවයි. නමුත් වාසනාවකට මහීෂ් තීක්ෂණට මහමුදුල්ලාගේ කඩුල්ල දවා ගැනීමට හැකි වුණා. ඒ අනුව අධික පීඩනයක් පවතින අවස්ථාවන් වලදී අපගේ මුල්පෙල පන්දු යවන්නන් ඔවුන්ගේ වගකීම නිසි ලෙස ඉටු කිරීම ඒ අවස්ථාවේදී තීරණාත්මක සාධකය බවට පත් වුණා. එසේම දසුන් යොමු කළ අති විශිෂ්ට අවසන් පන්දුවාරය නිසා අපට තරගය ජය ගත හැකි වුණා.’’ ලෙස තම අදහස් දැක්වීය .
එසේම මහමුදුල්ලා සහ ජේකර් අලීගේ ප‍්‍රහාරය හමුවේ කණ්ඩායම කි‍්‍රයාත්මක කළ සැළසුම් ගැන ද අදහස් දක්වමින් ශී‍්‍ර ලංකා මැදපෙලෙ පිතිකරුවා මෙසේ පැවැසීය. ‘‘ඒ අවස්ථාවේදී අපගේ පන්දු යවන්නන්ගේ සැළසුම වූයේ අපගේ මූලික කරුණු නිවැරදිව සිදු කිරීමයි. එසේම දැඩි පින්නක් තිබුණු නිසා අනිවාර්යයෙන් හොඳින් පන්දු යැවිය යුතු වුණා.’’
තවද ශ්‍රී ලංකා ජාතික කි‍්‍රකට් කණ්ඩායමේ පුහුණුකාර්යමණ්ඩල සාමාජිකයකු ලෙස කටයුතු කරන තිළිණ කණ්ඩම්බිගේ කාර්යභාරය පිළිබඳව ද මෙහිදී අදහස් දක්වමින් සධීර පැවැසූයේ මෙවැන්නකි. ‘‘මීට පෙර සිටම ඔහු අපගේ පිතිකරුවන් සමඟින් සමීපව කටයුතු කර තිබෙනවා. එසේම කී‍්‍රඩා සමාජ මට්ටමේ සිට ඔහු කී‍්‍රඩකයින්ව දැකලා තිබෙනවා. ඒ අනුව ඔහුට මෙම නව වගකීම හිමිවීමත් සමඟින් සෑම පිතිකරුවකුටම වගකීමක් පවරා තිබෙනවා. එසේම පිතිකරුවනුත් තම උපරිම අවධානය යොමු කරමින් මේ අවස්ථාවේ දී කී‍්‍රඩා කරනවා. එසේම ඔහු සමග කටයුතු කිරීම ඉතාමත් පහසුවක් වුණා.’’
කෙසේ වෙතත් තරග 3කින් සමන්විත ශ්‍රී  ලංකා - බංග්ලාදේශ 20යි-20 තරගාවලියේ තරග 1-0ක් ලෙසින් පෙරමුණ ගැනීමට මේ වන විට ශ්‍රී ලංකාවට හැකියාව ලැබී ඇති පසුබිමක අද (6) රාති‍්‍රයේ පැවැත්වෙන දෙවැනි 20යි -20 තරග ද ජයගතහොත් එක් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වනු ඇත. එසේම 20යි-20 තරගාවලියේ තවදුරටත් රැඳී සිටීමට නම් අද පැවැත්වෙන තරගය ජය ගැනීම බංග්ලාදේශයට සිදු වෙන නිසා වෙන් අද දින තීරණාත්මක තරගයක් ප්‍රේක්ෂකයන්ට දැක ගත හැකි වනු ඇත.