ලෝක ශූරතා ගෘහස්ථ මළල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාවේ නියෝජනයක් නෑ.

2024 ලෝක ශූරතා ගෘහස්ථ මළල ක්‍රීඩා උලෙළට ශ්‍රී ලංකාව මෙවර සහභාගි නොවේ.

International Athletics

59

ජාත්‍යන්තර මළල ක්‍රීඩා සම්මේලනය මගින් සංවිධානය කරනු ලබන 2024 ලෝක ශූරතා ගෘහස්ථ මළල ක්‍රීඩා තරගාවලිය එළැඹෙන මාර්තු මස 1 වැනිදා සිට 3 වැනිදා දක්වා එක්සත් රාජධානියේ ග්ලාස්ගෝහිදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කරමින් පවතී .
නමුත් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එක්වීමේ සූදානමින් පසුවු ද ඔවුන් අදාළ තරගාවලිය සඳහා එක් නොකිරීමට ශ්‍රී ලංකා මළල ක්‍රීඩා සංගමය විසින් තීරණයක් ගෙන ඇති බවට මේ වන විට යම් කථාබහක් නිර්මාණය වී ඇත.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින්  මීටර් 400 ඉසවව් සඳහා නදීෂා රාමණායකත්, මීටර් 800 ඉසවව් සඳහා තරුෂි කරුණාරත්නත්, කාන්තා මීටර් 1500 ඉසවව් සඳහා ගයන්තිකා අබේරත්නත්, පිරිමී මීටර් 400 ඉසව්ව සදහා අරුණ දර්ෂණ සහ කාලිංග කුමාරගේත්  තරගාවලියට සහභාගි වීමට නියමිතව තිබූ බවට කරුණු අනාවරණය වී ඇත.
කෙසේ නමුත් මේ  සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මළල ක්‍රීඩා සංගමයෙන් කළ විමසීමකදී එහි ලේකම්වරයා විසින් කියා සිටියේ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඉදිරි වසර සඳහා සූදානම් වීමට ප්‍රමාණවත් විවේකයක් ලබා දිය යුතු නිසා මෙවර ලෝක ශූරතා ගෘහස්ථ මළල කීඩා තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමක් එක් නොකිරීමට තම සංගමයට තීරණය කළ බවයි. එපමණක් නොව ඔලිම්පික් ශ්‍රේණිගත ලකුණු ලබා ගැනීම වෙනුවෙන් මෙම වසර තුළ ජාත්‍යන්තර තරගාවලි කිහිපයකටම ශ්‍රී  ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක් කිරීමට ශ්‍රී ලංකා මළල ක්‍රීඩා සංගමය සැළසුම් කර ඇති බව ද එහිදී සදහන් විය.
මේ පිලිබද තවදුරටත්  කරුණු දැක්වූ ශ්‍රී ලංකා මළල ක්‍රීඩා සංගමයේ ලේකම් සමන් කුමාර ගුණවර්ධන මහතා “ගෘහස්ථ මළල ක්‍රීඩා තරගාවලි යනු වෙනමම ආකෘතයක් නිසා එය අපිට අදාළ වෙන්නේ නැහැ. එසේ වුවත් මෙම තරගාවලියට එක් වූයේ නම් ඔලිම්පික් ක්‍රීඩා උළෙල වෙනුවෙන් ශ්‍රේණිගත ලකුණු යම් ප්‍රමාණයක් ලබා ගැනීමට හැකියාව තිබුණා. නමුත් ඒ වෙනුවට ඔලිම්පික් ශ්‍රේණිගත ලකුණු ලබා ගැනීම වෙනුවෙන් මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වෙනත් තරගාවලි අපි මේ වන විටත් සූදානම් කර තිබෙනවා. ඒ අනුව බහමාස් ජාත්‍යන්තර මළල ක්‍රීඩා තරගාවලිය, ඩුබායි ජාත්‍යන්තර මළල ක්‍රීඩා තරගාවලිය, කටාර්හි පැවැත්වීමට නියමිත ඩයමන්ඩ් ලීග් මළල ක්‍රීඩා තරගාවලිය යන තරගාවලි සඳහා ඔවුන් සහභාගි කරවීමට අපි සැළසුම් කර තිබෙනවා. පසුගිය වසර ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවයන්ට වඩාත් කාර්යබහුල වසරක් වුණා. ඒ අනුව නොවැම්බර් මාසය දක්වා ඔවුන්ට දේශීය සහ විදේශීය තරගාවලි සඳහා සහභාගි වීමට සිදුවුණා. එවන් තත්ත්වයක් තුළ ඔවුන්ගේ පුහුණුකරුවන් සමඟින් ද සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි ඔවුන්ගේ ඉදිරි වසරේ තරග සැළසුම් අපි සකස්කරනු ලබන්නේ. ඒ අනුව ඔවුන්ගේ කාර්යබහුල වසරක් නිමා වීමෙන් අනතුරුව ඊලඟ වසරට සූදානම් වීමට ඔවුන්ට ප්‍රමාණවත් කාලයක් අවශ්‍යයි. එම හේතුව නිසාම පෙබරවාරි මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ පළමු තේරීම් තරගාවලියත් මාර්තු මාසයට කල් දැමීමට අපි තීරණය කළා. එහිදී ජ්‍යෙෂ්ඨ තේරීම් තරගාවලිය තුළින් දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සහ ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකා සංචිතය තෝරා ගැනීමට බලාපොරොත්තු වෙනවා. එසේම කණිෂ්ඨ තරගාවලිය තුලින් ආසියානු කණිෂ්ඨ මළල ක්‍රීඩා ශූරතා තරගාවලියට සහභාගි කරවන ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීමට බලාපොරොත්තු වෙනවා. එපමණක් නොව මෙම තත්ත්වය යටතේ ජූනි මාසයේදී පැවැත්වෙන ජාතික ශූරතා තරගාවලිය පවා කල් දැමීමට අපිට සිදුවෙනවා. යම් හෙයකින් 2024 ලෝක ශූරතා ගෘහස්ථ මළල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායමක් එක් කරන්නේ නම්, ඊට අදාළ තේරීම් තරගාවලිය ජනවාරි මාසයේදී පැවැත්වීමට අපිට සිදු වෙනවා. ක්‍රීඩක ක්‍රීඩිකාවන් මුහුණදී සිටින ආබාධ තත්ත්වයන් හමුවේ නිසි විවේකයක් නොමැතිව ඔවුන්ව එවන් තරගාවලියකට යොමු කළ නොහැකියි.” යනුවෙන් පවසනු ලැබීය.
තවදුරටත්  මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්  ඔලිම්පික් ක්‍රීඩා උළෙල වෙනුවෙන් සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලි කිහිපයක් සඳහා ද ඉදිරිපත් කිරීමට නියමිත බවද ශ්‍රී ලංකා මළල ක්‍රීඩා සංගමයේ ලේකම්වරයා මෙහිදී  තම අදහස් දක්වමින් කියා සිටියේය .