ඇෆ්ගනිස්තානයට සැනසිලිදායක ජයක්

ලකුණු 3ක තියුණු ජයක්

International Cricket

54

ඇෆ්ගනිස්තානයට සැනසිලිදායක ජයක් 

ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ නිමාව සටහන් කරමින් පැවැති තෙවැනි සහ අවසන් විස්සයි - 20 තරගයෙන් ලකුණු 3ක තියුණු ජයක් වාර්තා කිරීමට ඇෆ්ගනිස්තානයට හැකි විය. 

කෙසේ වෙතත් මෙම තරගාවලියේ පළමු තරග දෙකම ජයගත් ශ්‍රී ලංකාව තරගාවලියේ ජය වාර්තා කරගෙන සිටියේය. 

එම තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්තානය පළමුව ලකුණු රැස්කිරීමට තීරණය කළ අතර ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් පමණක් දැවී සරැස්කළ ලකුණු සංඛ්‍යාව 209කි. ඊට පිළිතුරු සැපැයූ ශ්‍රී ලංකාවට පන්දුවාර 20ක් අවසානයේදී කඩුලු 6කට ලබා ගත හැකි වූයේ ලකුණු 206ක් පමණි. 

එම දැවැන්ත ඉලක්කය හඹා යාමේදී ශ්‍රී ලංකාවේ පළමු කඩුල්ල ලෙස කුසල් මෙන්ඩිස් ලකුණු 16කට දැවී ගිය අතර කුසල් පෙරේරා ලකුණු නොලබා දෙවැනි කඩුල්ල බවට පත් විය. තම විස්සයි 20 දිවියේ 10 වැනි අර්ධ ශතකය ලබා සිටි පැතුම් නිස්සංක ලකුණු 60ක් ලබා සිටියදී පාදයේ ආබාධයක් හේතුවෙන් අවාසනාවන්ත ලෙස පිටියෙන් ඉවත් විය. වනිදු හසරංග ලකුණු 13කට දැවී ගියේය. සධීර සමරවික්‍රම ලකුණු 23ක් ලබා ගත් අතර ඇන්ජිලෝ මැතිව්ස් ලකුණු 4කට දැවී ගියේය. සටන්කාමී ඉනිමක් දියත් කළ කමිදු මෙන්ඩිස් නොදැවී ලකුණු 65ක්  රැස්කළ අතර දසුන් ශානක ලකුණු 13කට පිටියෙන් ඉවත් විය. 

ඒ අනුව මෙහිදී පළමුව ලකුණු රැස්කිරීමට පිටියට පිවිසි ඇෆ්ගනිස්තානය වෙනුවෙන් ලකුණු 88ක සාර්ථක ආරම්භයක් ලඟා කර ගැනීමට හස්රතුල්ලා සසායි සහ රමණුල්ලා ගුර්බාස්ට හැකියාව ලැබිණි. ඒ අනුව ඇෆ්ගනිස්තාන ලකුණු පුවරුව 88ක් ලෙසින් දැක්වෙද්දී පළමු කඩුල්ල ලෙස හස්රතුල්ලා සසායි ලකුණු 45කට අකිල ධනංජය හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසු විය. 

ඉන් අනතුරුව ගුර්බාස්ට එක්වූ ඊබ්‍රහිම් සද්රාන්ට ද වැඩි වේලා කඩුල්ලේ රැඳී සිටීමට අකිල අවස්ථාවක් ලබා නොදුන්නේය. ඒ අනුව සද්රාන් ලකුණු 10කට දෙවැනි කඩුල්ල බවට පත්වූ අතර වේගවත් ඉනිමක් දියත් කළ ගුර්බාස් ලකුණු 70කට දැවී ගියේ තෙවැනි කඩුල්ල ලෙසිනි. පන්දු 43කදී වාර්තා වූ ගුර්බාස්ගේ මෙම වේගවත් ඉනිමට හතරේ පහර 7ක් සහ එක් හයේ පහරක් ඇතුළත් විය. 

අස්මතුල්ලා ඔමරාසි වේගවත් ලකුණු 31ක් රැස්කරගත්තේය. කරීම් ජනාත් මුහුණදුන් පළමු පන්දුවෙන්ම ලකුණු ලබා ගැනීමටත් පෙර ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට මතීෂට හැකි විය. 

කෙසේ වෙතත් අවසානය දක්වා තම සටන දියත් කළ මොහොමඩ් නබි නොදැවී ලකුණු 16ක් ලබා ගත් අතර තම මංගල විස්සයි 20 තරගයට ක්‍රීඩා කළ මොහොමඩ් ඉෂාක් ද ලකුණු 16ක් ලබා ගත්තේය. 

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී මතීෂ පතිරණ සහ අකිල ධනංජය කඩුලු 2 බැගින් දවා ගත් අතර වනිදු හසරංග එක් කඩුල්ලක් දවා ගත්තේය. 

ලකුණු පුවරුව 

ඇෆ්ගනිස්තානය - 209/5 (20) (රමණුල්ලා ගුර්බාස් 70, හස්මතුල්ලා සාසි 45, අස්මතුල්ලා ඔමරාසි 31, මතීෂ පතිරණ 4-0-42-2, වනිදු හසරංග 4-0-35-1) 

ශ්‍රී ලංකාව - (පැතුම් නිස්සංක 60, කමිදු මෙන්ඩිස් 65, සධීර සමරවික්‍රම 23, මොහොමඩ් නබි 35/2, ෆරීඩ් අහමඩ් 30/1, නූර් අහමඩ් 37/1, ක්වයිස් අහමඩ් 17/1)