සචිත්‍ර සේනානායක පොලිස් අත්අඩංගුවට

අයි.සී.සී. දූෂණ මර්ධන නිලධාරීන් ද සචිත්‍ර හමුවෙයි

National Cricket

211

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු දග පන්දු යවන්නෙකු වන සචිත්‍ර සේනානායක අද පෙරවරුවේ අත්අඩංගුවට පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. 

සචිත්‍රට එරෙහිව අපරාධ චෝදනා ගොනු කරන ලෙසට නීතිපති දෙපාර්තමේන්තුව ක්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට නියෝග කිරීමයි මෙලෙස ඔහුව අත්අඩංගුවට ගැනීමට හේතුවී ඇති අතර ක්‍රීඩාවට අදාළ වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකය වෙත භාර වීමෙන් අනතුරුව ඔහුව මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති බව ද සදහන්ය. 

එසේම මෙලෙස පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට්  කවුන්සිල දූෂණ මර්ධන ඒකකයේ නිලධාරියකු ද සචිත්‍ර හමුවී ඇති බව ද දැනගන්නට ඇත. 

2020 වසරේ ලංකා ප්‍රිමියර් ලීග් පළමු අදියරට සහභාගී වූ ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකුට ඩුබායි සිට දුරකථන ඇමතුම් මගින් තරග විෂමාචාරයකට පොළඹවා ගැනීමට සචිත්‍ර කටයුතු කර ඇති බවටත් තොරතුරු හෙළිවී තිබිණි. ඉන් අනතුරුව එම ක්‍රීඩකයින් මෙය දූෂණ විමර්ශන ඒකකයට දැන්වීමෙන් අනතුරුව ඔහුට එරෙහිව විමර්ශනයක් ආරම්භ කෙරුණා.

කෙසේ වෙතත් සචිත්‍ර සේනානායක එම චෝදනා ප්‍රතික්ෂේප කර ඇත්තේ; මෙය තමාට අපහාස කිරීමට සහ මඩ ගැසීමට උත්සාහ කළ බව පවසමින්.

2019 වසරේ ක්‍රීඩාවට අදාළ වැරදි වැළැක්වීමේ පනත බලාත්මක කිරීම මගින් ක්‍රීඩාවේ දූෂණ දඩුවම් ලැබිය හැකි වරදක් බවට පත් කර ඇති අතර ඒ අනුව එම නීතිය ක්‍රියාත්මක වීමෙන් පසු නඩු විභාගයට යන පළමු නඩුව සචිත්‍රගේ නඩුව වනු ඇති.

සචිත්‍ර මෙම නඩුවෙන් වැරදිකරු බව ඔප්පු වුවහොත්, ශ්‍රී ලංකා රුපියල් මිලියන 100 නොඉක්මවන දඩයකට හෝ වසර 10කට නොවැඩි සිර දඬුවමකට හෝ මෙම දෙකටම යටත් වීමට සිදුවන බවත් වාර්තා වනවා.

38 හැවිරිදි සචිත්‍ර සේනානායක ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරග 49 කදී ජාත්‍යන්තර කඩුලු 53 ක්ද, විස්සයි20 තරග 24 කදී කඩුලු 25 ක්ද දවාගෙන තිබෙනවා.